බංග්ලාදේශ නායකයා ඉන්දියාවේ ටෙස්ට් තත්වය ප්‍රශ්න කරයි !

ඊයේ ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවති ඉන්දු - එංගලන්ත දෙවන ටෙස්ට් තරඟය අවසන් වූයේ ඉන්දියාවට ලකුණු 319 ක අමිහිරි පරාජයක් හිමිකර දෙමින්. මෙහිදී ඉන්දියාවේ පිතිකරුවන්ගේ දුර්වලතාව කැපී පෙනෙන්නක් විය.

තවද ඊයේ අවසන්වූ බංග්ලාදේශ - සිම්බාබ්වේ තෙදින පුහුණු තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදී බංග්ලාදේශ නායක සකීබ් අල් හසන්, ඉන්දු - එංගලන්ත තරඟාවලිය පිළිබඳව අදහස් දැක්වීමට ඉදිරිපත්විය.

" මම නම් හිතන්නෙ නෑ ඉන්දියාව ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු කණ්ඩායමක් කියල. බලන්න, ඔවුන් අවසාන ටෙස්ට් ඉනිම් 7 තුළදී ලකුණු 300 කඩඉම පසු කර ඇත්තේ එක්වතාවක් පමණයි. අවසාන ඉනිම් 5 සැළකුවහොත් එක් වතාවක්වත් නැහැ. නමුත් බංග්ලාදේශය අවසාන ඉනිම් 7 තුළදී තෙවතාවක් ලකුණු 300 කඩඉම පසු කරන්න සමත්වුනා. එයට එංගලන්තයට එරෙහිව ඩකා හිදී රැස්කළ ලකුණු 419 හා ලෝර්ඩ්ස් හිදී රැස්කළ ලකුණු 382 ඇතුලත්. නමුත් ලෝකයේ බොහෝ දෙනෙක් පවසනවා බංග්ලාදේශය ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු නැතිබව. මම දන්නෙ නෑ ඇයි ඔවුන්ට ඉන්දියාවේ මේ දුර්වල ක්‍රීඩා විලාශය නොපෙනෙන්නේ කියලා. "

තවදුරටත් සකීබ් වර්තමානයේ සිටින දුර්වල ඉන්දීය ආරම්භක පිතිකරුවන් පිළිබඳව අදහස් දැක්විය.
" ඇත්ත වශයෙන්ම මෙම තරඟාවලියේදී ඔවුන්ගේ ආරම්භයන් ඉතාමත් දුර්වලයි. එය කිසිසේත්ම ටෙස්ට් කණ්ඩායමකට නොගැලපෙන්නක්. ඔබට මතක ඇති පසුගිය වසරේදී ලෝඩ්ස් පිටියේදී හා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී තමීම් බායි (සහෝදරයා) පන්දු 100 කින් වාර්තාකළ ශතක 2 . තවද අපගේ අනෙක් ආරම්භක පිතිකරු ඉම්රුල් කයිස් ද හොඳින් ලකුණු රැස්කළා. නමුත් ලෝකයේ බොහෝ දෙනෙක් පවසනවා බංග්ලාදේශය ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු නැතිබව. මම දන්නෙ නෑ ඇයි ඔවුන්ට ඉන්දියාවේ මේ දුර්වල ක්‍රීඩා විලාශය නොපෙනෙන්නේ කියලා. "

අනතුරුව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු ප්‍රකාශ කළේ, විරේන්ද්‍ර ෂෙවාග් නැවත ඉන්දීය කණ්ඩායමට එක් වුවද මේ තත්වයේ වෙනසක් සිදුනොවන බවයි. සංඛ්‍යයා දත්ත අනුව ද එසේ සිදුවීමේ ඉඩකඩ වැඩිය. ෂෙවාග් එංගලන්තය තුළදී ටෙස්ට් තරඟවල පවත්වාගෙන යන සාමාන්‍යය වනුයේ 39.5 කි. මීළඟ තරඟ 2 පැවැත්වෙන; එඩ්ග්බස්ටන් හිදී ඔහු එකදු තරඟයක් හෝ ක්‍රීඩා කර නොමැති අතර, ඕවල් හි ඔහුගේ සාමාන්‍යය 12 ක් වේ. කෙසේවෙතත් බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් එංගලන්තයේදී 67 ක සාමාන්‍යයක් පවත්වාගැනීමට සමත්ව තිබේ.

මාධ්‍යවේදීන් විසින් ක්‍රීඩාවේ ජීව ගුණය පිළිබඳව නැඟූ ප්‍රශ්නවලට පිළිතුරුදුන් සකීබ් කියාසිටියේ,

"ඒ අවස්තාව බංග්ලාදේශ කණ්ඩායමට උදාවූවානම්, මම අපේ පුහුණුකරු ස්ටුවර්ට් ලෝ සමඟ 4 වන දිනයේ උදෑසන එංගලන්ත විවේකාගාරයට ගොස්, ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් ඉනිම අත්හිටුවන ලෙස හෝ තරඟය ජය පරාජයෙන් තොරව අවසන්කරන මෙන් ඉල්ලා සිටිනවා. නමුත් ලෝකයේ බොහෝ දෙනෙක් පවසනවා බංග්ලාදේශය ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු නැතිබව. මම දන්නෙ නෑ ඇයි ඔවුන්ට ඉන්දියාවේ මේ දුර්වල ක්‍රීඩා විලාශය නොපෙනෙන්නේ කියලා. "

අවසාන වශයෙන් සිම්බාබ්වේ සමඟ පුහුණු තරඟය පරාජයවීම පිළිබඳවද ඔහු අදහස් දක්වීය.
" ඇත්තවශයෙන්ම, හැමෝම දන්නවා අපි තරඟාවලියකට අවතීර්ණ වෙන්නේ සෙමින් කියලා. අනික මේක ටෙස්ට් තරඟය සඳහා තිබූ පුහුණු තරඟයක් පමණයි. මම බලාපොරොත්තුවෙනවා තමීම් බායි කණ්ඩායමට පැමිණීමත් සමඟ අපිට ටෙස්ට් තරඟය ජයගන්න ලැබෙයි කියලා. "

සැ. යු. : මෙය හුදු ප්‍රබන්ධයක් පමණි


ප.ලි. : මෙය මවිසින් 2/08/2011 වන දින cricturf.com හි පලකළ හාස්‍යෝත්පාදක ලිපියකි
Read More

අපට වැරදුන තැන



ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින තරඟාවලිය මේ වනවිට 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවන අතර. පැවති තරඟ දෙකේදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනෙන්නක් විය. T20 තරඟ දෙක දිල්ශාන්ගේ හා මහේලගේ සුපිරි පිතිකරණය හා දිල්රුවන් හා අජන්තගේ පන්දු යැවීමත් හේතුවෙන් ජය ගැනීමට සමත්වූ ශ්‍රී ලංකාවට එක්දින තරඟාවලියේදී වැරදුනේ කොතැනද ?

ශ්‍රී ලංකාවට කාලාන්තරයක් තිස්සේ පැවති විශාලම අභියෝගය වූයේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයයි. නමුත් මේ වනවිට දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා භානුක රාජපක්ෂ යන යෞවනයන් දෙස බැලීමේදී එම අර්බුදය විසඳීමේ ලකුණු පහළ වී ඇත. මේ වනවිට එක්දින කණ්ඩායමේ නිත්‍යය ස්ථානයක් ලබා සිටින චන්දිමාල්ව අප නිසි පරිදි භාවිතා කරනවාද ?

අංක තුන පිතිකරුවකු ලෙස කණ්ඩායමට ගෙනා චන්දිමාල්, එංගලන්තය සමඟ පැවති 5 වන තරඟයේ සිට පැමිනෙන්නේ අංක 5 ස්ථානයේ. නමුත් පසුගිය ආසියානු කුසළානයට හා ලෝක කුසලානයට ඔහුව නම් නොකළේත් අංක 5 වැනි ස්ථානයක ඔහු ක්‍රීඩා කිරීමෙන් ඵලක් නැතැයි පවසමින්. සැබැවින්ම චන්දිමාල් පාසල් කණ්ඩායමක හෝ පළමු පෙළ අන්තර් සමාජ හෝ අන්තර් පළාත් කිසිඳු තරඟයක අංක 5 ක්‍රීඩා නොකළ ක්‍රීඩකයෙක්. පාසල් සමයේ ඔහු ආරම්භක පිතිකරුවකු වූ අතර, අන්තර් සමාජ හා පළාත් තරඟ වලදී ඔහු අංක අංක 3 පිතිකරුවෙක්. මේ අනුව අපට පෙනී යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙළෙහි යම් ගැටළුවක් ඇතිබවයි.

ඇයි චන්දිමාල් හට අංක 3 ක්‍රීඩා කිරීමට නොහැකි ? එකම හේතුව ජාතික කණ්ඩායමේ අංක 3-4 හි ක්‍රීඩා කරන්නේ පරිණත ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්වන සංගක්කාර හා මහේල වීමයි. එසේනම් කණ්ඩායම් කළමණාකාරීත්වයට ගතහැකි ක්‍රියාමාර්ග 3 කි.


  1. සංගක්කාර හා මහේල 3-4 ද, චන්දිමාල් 5 ද ක්‍රීඩා කිරීම.
  2. චන්දිමාල් කණ්ඩායමට නම් නොකර, අංක 5 ක්‍රීඩා කිරීමට සුදුසු වෙනත් පිතිකරුවකු යොදාගැනීම.
  3. සංගක්කාර හා/හෝ මහේල තම ස්ථානය වෙනස්කර චන්දිමාල් අංක 3 ක්‍රීඩා කිරීම.

  • විසඳුම 1 :-
මෙහි ප්‍රතිඵල මේ වනවිට අප අත්විඳිමින් සිටී. විශේෂයෙන්ම හම්බන්තොට වැනි දැවැන්ත ක්‍රීඩාංගනයකදී විශාල පහරවල් වලට යාම අසීරු කටයුත්තකි. බොහෝවිට පවර් ප්ලේ අවස්ථාවෙන් පසු 6,4 පහරවල් ලබාගැනීමට වඩා සෑම පන්දුවකටම පන්දුව හිඩැස් වෙත යොමුකොට ලකුණු 1,2 ලබා ගැනීමට ක්‍රීඩකයන් උත්සාහකළ යුතුය. නමුත් පසුගිය තරඟයේ පවර් ප්ලේ වලින් අනතුරුව, විශාල පහර වලට යන ක්‍රීඩකයෙකු වන චන්දිමාල් අංක 5 ට පැමිණීමෙන් පිතිකරණ අනුපිළිවෙලෙහි ඇති දුර්වලතාව නැවත වරක් පසක්විය.

අත්දැකීම් අඩු තරුණ දක්ෂ ක්‍රීඩකයෙකු එක්වරම කෙදිනකවත් ක්‍රීඩා නොකල අංක 5 හි ක්‍රීඩා කිරීමට යොමුකරනවාද ? මාළුවෙකුට ගස් නැඟීමට නොහැකි නිසා තම ජීවත්වීමේ අයිතිය අහිමිකරනවාද ? තවත් කපුගෙදර කෙනෙකු බිහිකරනවාද ? මේ ප්‍රශ්නවලට පිළිතුරු කළමණාකාරීත්වය හා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සිතිය යුතුය.
  • විසඳුම 2 :-
ගැටලුව වන්නේ අංක 5 වෙත අප කැඳවන්නේ කවුරුන්ද යන්නයි. පසුගිය කාලය පුරාවට අසාර්ථකවූ මැදපෙළ වෙත නැවතත් ගමන්කිරීමට ශ්‍රී ලංකාවට සිදුවේ.
  • විසඳුම 3 :-
මෙය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. අතීතයේ අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා ද මාවන් අතපත්තු, රසල් ආනල්ඩ්, මහේල ජයවර්ධන හා කුමර සංගක්කාර වැනි තරුණයන් වෙනුවෙන් මේ කැපකිරීම කරනලදි. තම ක්‍රීඩා දිවියේ අවසාන සමයේදී එතෙක් අංක 4 ක්‍රීඩාකළ අරවින්දට 5 හිද, එතෙක් අංක 5 ක්‍රීඩාකළ අර්ජුනට 6-7 ස්ථානවලද ක්‍රීඩා කිරීමට තරම් ඔවූහු තම නවක ක්‍රීඩකයන් හට ත්‍යාගශීලී විය.


මින් මා තෝරාගන්නේ තෙවන විසඳුමයි. සංගක්කාර හා මහේල වැනි පරිණත දෙපලකට මේ වෙනස දරාගත හැකිවිය යුතුය. හිටපු දකුණු අප්‍රිකානු හා පාකිස්තානු ජාතික පුහුණුකරුවකු වූ බොබ් වූල්මර් වරක් පැවසූ පරිදි හොඳම පිතිකරුවා එක්දින කණ්ඩායමක අංක 5හි ක්‍රීඩාකළ යුතුය. මගේ මතය අනුව නම් මේ මහේල ජයවර්ධනහට සුදුසුම ස්ථානය බවයි. අප අවිවාදයෙන්ම පිළිගතයුතු කරුණක් වන්නේ දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමේදී හා ලකුණු 1,2 රැස්කිරීමේදී වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින හොඳම පිතිකරුවා ඔහු බවයි. අවශ්‍යය නම් මේ ස්ථානයෙහි සංගක්කාර ක්‍රීඩා කිරීම ද එතරම් ගැටළුවක් නැත.

චන්දිමාල් යනු සංගක්කාර හා මහේල ගෙන් පසු ශ්‍රී ලංකාව සොයාගත් දීප්තිමත්ම පිතිකරුවායි. මෙවැනි තරුණ ක්‍රීඩකයන්ව කළමණාකාරීත්වය පරිස්සමින් මෙහෙයවිය යුතුයි. සංගක්කාර හා මහේල වැනි ජ්‍යේෂ්ඨ පිතිකරුවන්ද මෙයට වඩා වගකීමකින් නවකයන් ආරක්ෂාකිරීමට පියවර ගතයුතුයි. ඇතැම්විට තරුණයෙකුට අවස්ථාවදීම සඳහා පිතිකරන ලැයිස්තුවේ පහළට යාමෙන් ඔවුනට ලබාගත හැකි ශතක ප්‍රමාණයේ අඩුවක් විය හැකියි. එබැවින් IPL තරඟාවලිහිදී ඔවුන්ට ලැබෙන මුදල් අගයද අඩුවිය හැකිය. නමුත් රට ගැන සිතනවානම් ඔවුන්ට මෙය සිදුකළ හැකි විය යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංස්කෘතියයි. අතීතයේද ජ්‍යේෂ්ඨයන් තම නවකයන් වෙනුවෙන් අවශ්‍යය විට මේ යුතුකම ඉටුකළහ.
Read More

නන්නාඳුනන දඟ පන්දු යවන්නාගේ ආගමනය

එළඹෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා, ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි. මේ වනවිට බොහෝ ක්‍රීඩා ලෝලීන්හට මතුව ඇති ගැටලුවක්වනුයේ ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇති පිට දඟ පන්දුයවන නේතන් ලියොන් ගේ තේරීමයි. තවමත් 23 හැවිරිදි ඔහු, ක්‍රීඩාකර ඇත්තේ පළමු පෙළ තරඟ 4 ක් පමණයි.

මොහු පිළිබඳව දැන ගැනීම සඳහා අප ලියොන්ගේ පුහුණුකරුවන "ඩැරන් බැරී" සම්බන්ධකර ගන්නා ලදි.

ක්‍රික්ටර්ෆ් වාර්තාකරු : වාර්තාවන ආකාරයට ලියොන්ගේ නිසඟ හැකියාවන් හඳුනා ගෙන ඔහුව "දකුණු ඕස්ට්‍රේලියානු" ප්‍රාන්ත කණ්ඩායම වෙත ගෙනවිත් ඇත්තේ ඔබයි. ඒ මතකය අවදිකළොත්.

ඩැරන් : ඔව්. මීට වසරකට පමණ පෙර ඔහු අපේ ක්‍රීඩාංගනයේ (ඇඩිලේඩ්) තණතීරු සැකසීම් අංශයට සම්බන්ධවුනා. එක් දිනක් ඔහු ක්‍රීඩාංගනයේ සැකසීම් කටයුතු වල යෙදෙමින් සිටියදී, මම ඔහුගෙන් විශිෂ්ට දඟ පන්දු යවන්නෙකුගේ ලක්ෂණ දුටුවා. ඔහු පිටියේ යාර 15 සීමාව ලකුණු කිරීමට යොදන පියනක්, විසි කිරීමේදීයි මා එය නිරීක්ෂණය කළේ.

ක්‍රි. වා. : බොහොම සිත්ගන්නා කතාවක් වගේ. ඔබ මොකක්ද දුටුව විශේෂත්වය.

ඩැරන් : ඔහු එය විසි කරපු ඉරියව්වෙන් මා, අපට සිටි විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වන "බ්‍රැඩ් හොග්" හා සමානකමක් දුටුවා.

ක්‍රි. වා. : එය සිදුවිය නොහැක්කක්. බ්‍රැඩ් හොග්, වමතින් මැනික් කටුව උපයෝගී කරගෙන පන්දු යවන්නේ. නමුත් ලියොන්, දකුණතින් ඇඟිලි උපයෝගී කරගෙන පන්දු යවන ක්‍රීඩකයෙක්නෙ ?

ඩැරන් : ඔබට එක් කරුණක් අමතක වුනා. හොග් මැණික් කටුවට අමතරව පන්දු යැවීම සඳහා "දිව" ද උපයෝගී කරගන්නවා.
ක්‍රි. වා. : එතකොට ඔබ කියන්නේ ලියොන් ද, පන්දු යැවීම සඳහා දිව උපයෝගී කරගන්නා බවයි ?

ඩැරන් : අනිවාර්යෙන්ම. ඔහු අනාගතයේ විශිෂ්ට පන්දු යවන්නෙකු වනවා නියතයි.

මීළඟට අපි සම්බන්ධ කරගත්තේ, නේතන් ලියොන් ව ;

ක්‍රි. වා. : ඩැරන් අපිට විස්තර කළා, ඔබගේ සැඟවුනු හැකියාවන් ඔහු හඳුනාගත් ආකාරය. මොනවද ඔහු මුලින්ම ඔබගෙන් ඇසුවේ ?

ලියොන් : ඒ පසුගිය වසරේදී ඇඩිලේඩ් ක්‍රීඩාංගයේ සේවයට මා බැඳුන අලුත. දිනක් මා ක්‍රීඩාංගනයේ සිටියදී ඩැරන් මා වෙත පැමිණ ඇසුවා, " පුතා, ඔබ Spinner කෙනෙක් වෙන්න කැමතිද ? " යනුවෙන්. මා ඔහුට පැවසුවා මා "Spinners" දැනටමත් භාවිතා කරන බවත්. ශේන් වෝර්න් මාගේ ප්‍රියතම පන්දු යවන්නා බවත්. ඇත්තටම "Spinners" අනෙක් වර්ගවලට වඩා ආකර්ශනීයයි.

ලියොන් තම මතකයන් එසේ අවදි කරයි.

අනතුරුව අප සම්බන්ධ කරගත්තේ ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ සභාපති "ඇන්ඩෲ හිල්ඩ්‍රිච්".

ක්‍රි. වා. : හිල්ඩ්‍රිච් මහත්මයා, ඔබගේ නවතම දඟ පන්දු තාරකාව ලියොන් ගැන ඔබේ අදහස කුමක්ද ?

හිල්ඩ්‍රිච් : ඔව්. අපි ඔහුගෙන් සුවිශේෂී පන්දු යවන්නෙකුගේ ලක්ෂණ දුටුවා. ඇත්ත වශයෙන්ම මීට පෙර එවැනි ලක්ෂණයක් අප දුටුවේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ බ්‍රැඩ් හොග් ගෙන්. විශේෂයෙන්ම එක්දින තරඟවලට අපට සිටි හොඳම දඟ පන්දුයවන්නෙක් තමයි හොග්. අවාසනාවකට වෝන් හා මැක්ගිල් නිසා ඔහුට ටෙස්ට් තරඟ ක්‍රීඩාකිරීමේ අවස්තාව බොහෝවිට මඟ හැරුනා. ඒ වගේම, හොග් තරම්ම නොවුනත් ෂේන් වෝන් ද ඇතැම් වෙලාවන්හිදී පන්දු යැවීම සඳහා දිව උපයෝගී කරගත්තා.

ක්‍රි. වා. : එතකොට ඔබත් ලියොන්ගෙන් එවැනි දස්කම් බලාපොරොත්තු වෙනවා ?

හිල්ඩ්‍රිච් : අනිවාර්යෙන්ම. ඔහුට තම දිව පන්දු යැවීමට යොඳා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබෙනවා. මෙතෙක් ඔහු සහභාගී වූ පළමු පෙළ තරඟ 4 තුළදී පන්දුවාර 173 කුත් එක් පන්දුවක් යවා ඇති අතර, එහිදී ඔහු පන්දුවාර 167. 1 ක් යැවීම සඳහා දිව උපයෝගීකරගෙන තිබෙනවා. එය 96.5% ක ප්‍රතිශතයක්.

ක්‍රි. වා. : ඉතුරු පන්දුවාර 6 ?

හිල්ඩ්‍රිච් : අහ්... එක් දිනයකදී, තේ පානයෙන් අනතුරුව ඔහුට තම දිව උපයෝගී කරගැනීමේ බාධාවක් මතුවුනා.

මෙලෙස ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව හා ලියොන්ගේ පුණුකරු ඇතුළු සුවහසක් ක්‍රීඩා ලෝලීන් ලියොන් ගැන තබා ඇති බලාපොරොත්තු අතිමහත්ය.

සැ. යු. : මෙය හුදු ප්‍රබන්ධයක් පමණි

ප.ලි. : මෙය මා විසින් cricturf.com සඳහා රචිත ලිපියකි
Read More