ඉදිරිය දුෂ්කරයි

  • T20 ලෝක කුසලානයේ දෙවන වටයේදී ශ්‍රී ලංකාවට හමුවීමට නියමිත රටවල් මොනවාද ?
  • කණ්ඩායමේ සංයුතිය කෙසේ වියයුතුද ?
  • ජීවන්ත කුලතුංගට සිදුවූයේ කුමක්ද ?
  • පුණුණු තරඟවල තොරතුරු


2010 T20 ලෝක කුසලානය ඇරඹීමට ඇත්තේ තවත් දින 2ක් පමණි. තරඟාවලියේ සමාරම්භක තරඟය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර එළඹෙන 30 වනදා ගයානා හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. තවද, අදදින (28) ද. අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව තරඟවදින ප්‍රථම පුහුණු තරඟය  පැවැත්වීමට නියමිතයි. ඒ  බාබඩෝස් හි බ්‍රිජ්ටව්න් ක්‍රීඩාංගනයේදීය. පුහුණු තරඟය පවත්වන ක්‍රීඩාංගනයේ වැදගත් කරුණ වනුයේ, දෙවන වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවහොත් එහිදී ක්‍රීඩාකරන තරඟ 3න් 2ක්ම පවත්වනුලබන්නේ මෙම ක්‍රීඩාංගනයේ වීමයි.

පළමු වටයේදී ශ්‍රී ලංකාව, නවසීලන්තය හා සිම්බාබ්වේ සමඟ B කාණ්ඩයෙන් තරඟවදී. මෙහිදී මෙම කණ්ඩායම් 3 අතර සියළුම තරඟ පවත්වනු ලබන්නේ ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේදීය. මෙම ක්‍රීඩාංගනයේ මේවනතෙක් කිසිදු ජාත්‍යන්තර T20 තරඟයක් පවත්වා නොමැති අතර තණ තීරු මන්දගාමී ස්වභාවයක් ගනු ඇතැයි විශ්වාස කළ හැක. ඒ අනුව ශ්‍රී ලංකාවේ හා සිම්බාබ්වේ දඟ පන්දුයවන්නන් නවසීලන්ත පිතිකරුවන්ට ප්‍රභල අභියෝගයක් එල්ලකිරීමේ හැකියාවක් පවතී. මෙම වටයේදී කාණ්ඩයේ ප්‍රථමයාවීම එතරම් වැදගත් කරුණක් නොවේ. මන්ද කාණ්ඩයේ ප්‍රථමයා හා දෙවෙනියා පසුගිය තරඟාවලියමත වර්ගකර දෙවනවටයේ (සුපර් 8) කාණ්ඩ 2ක් නම්කර තිබීමයි.

A කාණ්ඩයB කාණ්ඩයC කාණ්ඩයD කාණ්ඩය
1.පාකිස්ථානය(A1)2.ශ්‍රී ලංකාව(B1)3.ද. අප්‍රිකාව(C1)4.බ. ඉ. කොදෙව්(D1)
8.බංග්ලාදේශය(A2)7.නවසීලන්තය(B2)6.ඉන්දියාව(C2)5.එංගලන්තය(D2)
9. ඕස්ට්‍රේලියාව 10.සිම්බාබ්වේ11.ඇෆ්ගනිස්ථානය12.අයර්ලන්තය


 E කාණ්ඩය

F කාණ්ඩය
A1A2
B2B1
C1C2
D2D1

එනම්, ඉහත අයුරින් පසුගියවර ශූරයන් වූ පාකිස්ථානය A1, අනුශූරයන් වූ ශ්‍රී ලංකාව B1,  ආදී ලෙසයි. අනතුරුව දෙවන වටයේදී එක් එක් කාණ්ඩයේ පළමු  කණ්ඩායම් 2 E හා F ලෙස කාණ්ඩගත කරයි. නමුත්, උදාහරණයක් ලෙස  A කාණ්ඩයෙහි පාකිස්ථානය A1 ලෙසද, බංග්ලාදේශය A2 ලෙසද නම්කරතිබේ. බංග්ලාදේශ කණ්ඩායම කාණ්ඩයෙහි ප්‍රථම ස්ථානය ලබාගත්තද ඔවුන් මීළඟ වටයට යන්නේ A2 ලෙසයි. තවද A2 ලෙස නම්කර ඇති බංග්ලාදේශ කණ්ඩායමට පළමු වටයේදී තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුවහොත්, ඕස්ට්‍රේලියා කණ්ඩායම A2 ස්ථානයට පත්වීමක් සිදුවේ. මෙලෙස නම්කිරීමට හේතුව ලෙස දක්වන්නේ, ක්‍රීඩාංගනවලට පැමිනෙණ තරඟ නරඹන්ණන්ට අවශ්‍ය ටිකට්පත් කලින් වෙන්කර ගැනීමේ පහසුවයි. අනතුරුව E හා F කාණ්ඩවල පළමු කණ්ඩායම් 2 අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබයි.

මේ අනුව ශ්‍රී ලංකාව සමඟ F කාණ්ඩයට පැමිණීමට වැඩිහැකියාවක් ඇති කණ්ඩායම් වනුයේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා බ. ඉ. කොදෙව්වන්ය. මේ අනුව පැහැදිලිවන කරුණ වනුයේ, දෙවන වටයේදී ශ්‍රී ලංකාවට ඇත්තේ පහසු අභියෝගයක් නොවනබවයි.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ  දඟ පන්දුයවන්නන් දෙදෙනෙකුවත් ක්‍රීඩාකිරීම බොහෝවිට සිදුවියහැක. ඒ මුරලි සමඟ සනත්ද, නැතිනම් මුරලි , සනත් සමඟ මෙන්ඩිස් / රන්දීව් වියහැක. කෙසේවුවත් ඩිල්ෂාන් සමඟ මහේල ඉනිම ආරම්භකිරීම අනිවාරයයෙන්ම සිදුවියයුත්තකි. පසුගිය 2009 ජනවාරි මස පටන් ලකුණු අතර සිටි ඩිල්ෂාන්, මෑතක ඇතිවූ ආබාධයෙන් පසුව ලකුණුඅතර නැතිබවක් පෙනේ. එබැවින් ඩිල්ෂාන් සමඟ සනත් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩාකිරීම, ආරම්භක පිතිකරුවන් නොමැතිව ක්‍රීඩාකරනවා වැනි ක්‍රියාවකි. තවද, පසුගිය අන්තර් පළාත් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාවූ මාගේ ප්‍රියතම ක්‍රීඩකයා වන දිනේෂ් චන්දිමාල් හට මෙවර අවස්ථාවක් හිමිවියහැක.

ඔහු වැනි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මැදපෙළ ක්‍රීඩාකිරීම අනිවාර්යයෙන්ම වියයුත්තකි. පසුගිය තරඟාවලිදෙස බැලූකල පෙනීයන කරුණක් වනුයේ චාමර කපුගෙදර ලකුණු අතර නොමැති බවයි. එබැවින් චන්දිමාල්ට අවස්ථාවක් ලැබීම බොහෝවිට සිදුවියහැක. මා දකින අයුරින් චන්දිමාල් යනු, ඇන්ජලෝ මැතිව්ස්ට පසු, දිනෙක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වියහැකි මට්ටමේ ක්‍රීඩකයෙකි.

පළමු හා දෙවන වට වළදී, නවසීලන්ත හා ඕස්ට්‍රේලියා තරඟවලදී මෙන්ඩිස් ක්‍රීඩා කිරීමෙන් වාසියක් ලැබියහැක. බොහෝවිට මැතිව්ස් හා තිසර පෙරේරාත් ක්‍රීඩාකළහැක. කෙසේ වුවත්, ඩිල්හාර මෙම සංචිතයට නම්නොකිරීම විශාල පාඩුවකි. පසුගිය අන්තර් පළාත් තරඟාවලියේ තරඟාවලියේ වීරයා වූ ජීවන්ත කුලතුංග ගැන පැවසීමට ඇත්තේ, මෙය ඔහුගේ අවාසනාව බවයි. එනම්, තේරීම් කමිටුව ඔහුව නම්නොකිරීමට ගත් තීරණය සමඟ මා එකඟවනබවයි. මන්ද, එම තරඟා වලියේදී ඔහු එල්ලකර ඇති 6 පහර සංඛ්‍යාව අල්ප වීමයි. කොටිම, ඔහු ශතකයක් වාර්ථාකළ ඉනිමේදී ඔහු එකඳු 6 පහරක් හෝ එල්ලකර නොමැත.

දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යය වනුයේ 6 පහර විශාල සංඛ්‍යාවක් එල්ලකළහැකි ක්‍රීඩකයන්ය.මාගේ පළාත් කණ්ඩායමට ඔහු ක්‍රීඩාකළද, කිවයුතු සත්‍යය මෙයයි. මාධ්‍යයවේදීන් ලකුණු පුවරුවක් දෙසබලා, වැඩිම ලකුණු ලාභියා මොහුයයිකියා යම් ක්‍රීඩකයෙකු  පැවසිය හැක. නමුත් තරඟය නැරඹූ අය දනී, ඔහු ලබාදුන් උඩපන්දු කීයක් අතහැරුනද, පිත්තේ දාරවල වැදී හතරේ පහර කීයක් ගියාද වැනි දෑ. මෙයින් මා පවසන්නේ නෑ ජීවන්ත ලබා දුන් උඩ පන්දු අන් ක්‍රීඩකයන් අත්හැරි නිසා හෝ පිත්තේ දාරයේ පන්දුව වැදී ලබාගත් 4 පහර වලින් ඔහු ලකුණු ලබාගත්බවක්.

මේවනවිට පුහුණු තරඟ 4ක් පවැත්වී අවසානය. පුහුණු තරඟවල එතරම් වැදගත්කමක් නැතත්, මේ වනවිට එක් පෙරළියක් සිදුවී අවසානය. එනම්, ඕස්ට්‍රේලියා කණ්ඩායම සිම්බාබ්වේ හමුවේ පරාජය වීමයි. තවද, නවසීලන්තය , අයර්ලන්තය පරාජය කිරීමත් බංග්ලාදේශය , බාබඩෝස් කණ්ඩායම පරාජය කිරීම හා පාකිස්ථානය, වින්ඩ්වර්ඩ් දූ. කණ්ඩායම පරාජය කිරීමත් සිදුවී ඇත.

Read More

T20 වසන්තය !!!

2010 T20 ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමට ඇත්තේ තවත් දෙමසකට අඩු (අප්‍රේල් 30) කාලයකි. මෙම තරඟාවලියට තම දක්ෂතා පෙන්වා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ලැබීතිබෙන අවස්ථාවක් ලෙස මේවන විට පැවැත්වෙන අන්තර් පළාත් T20 තරඟාවලිය හැඳින්වියහැක. තවද මෙම තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායම මෙවර චැම්පියන්ස් ලීග් තරඟාවලියටද සුදුසුකම් ලබනු ඇති. පසුගියවර මෙම තරඟාවලියේ හොඳම පිතිකරු වූ ඉන්දික ද සේරම් හා හොඳම පන්දු යවන්නා වූ ඉසුරු උදාන 2009 T20 ලෝක කුසලාන තරඟාවලියට එක්වීමට වරම් ලැබීය. ඉන්දියාව, පකිස්ථානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා බංග්ලාදේශ යන රටවල් මේ වනවිට 30 දෙනෙකුගෙන් යුත් සංචිත නම්කර ඇති අතර; අන්තර් පළාත් තරඟාවලිය අවසානයේදී ශ්‍රී ලංකා සංචිතයක්ද නම් කරනු ඇතැයි බලාපොරොත්තුවිය හැක.
මේ වනවිට (3 වනදා) වයඹ කණ්ඩායම සහභාගීවූ තරඟ 4ම ජයගෙන ඉදිරියෙන් සිටී. ඔවුන්ගේ ප්‍රභල පිතිකරුවන් බොහෝදෙනෙක් අවශ්‍යවිට ලකුණු අතරට පැමිණීම මෙයට හේතුවයි.
 mahela 
Mubarak

වයඹ පුත්‍රයෙකු ලෙස තර්ඩ් මෑන්ට මෙය ආඩම්බරයකි. තවද රුහුණ, කඳුරට, බස්නාහිර උතුර, බස්නාහිර දකුණ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම් පිළිවෙලින් අනෙකුත් ස්ථානයන්හි පසුවෙති. මෙහි ඒකාබද්ධ කණ්ඩායම යනු පාසල් ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීමට එක්කරන ලද කණ්ඩායමක්වේ. නමුත් අන්තර් සමාජ මට්ටමේ කුසලතාපිරි යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුද මෙහි සිටී. පසුගිය වර මෙම කණ්ඩායම වෙනුවට ක්‍රීඩාකරනු ලැබුවේ ආරාධිත පාසල් කණ්ඩායමයි. එහිදී එම කණ්ඩායම සම්පූර්ණයෙන්ම පාසල් ක්‍රීඩකයන්ගෙන් පමණක් සැදුම්ලත් කණ්ඩායමක් විය. එවර එම කණ්ඩායමට එකඳු තරඟයක් හෝ ජයගත නොහැකිවූ නිසා, මෙවර අන්තර් සමාජ මට්ටමේ යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටත් අවස්ථාව දීමට ක්‍රිකට් ආයතනය තීරණය කළාවියහැක. තරගාවලියේ ලීග් වටයේ තවත් තරඟ 3ක් ඉතිරිව තිබේ. එම තරඟ හෙට දිනයේදී කෝල්ට්ස්  ක්‍රීඩාංගනයේදී හා ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව එළඹෙන අවසන් පූර්ව තරඟ හා අවසන් මහා තරඟය එළඹෙන සති අන්තයේදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
කණ්ඩායම තරඟ ජය පරාජ වි.නැ. ප්‍රසාද ල. දළ ල. වේගය
වයඹ
4
4
0
0
17
+0.958
රුහුණ
4
3
1
0
12
+0.587
කඳුරට
4
2
1
1
9
+0.568
බස්නාහිර උ.
4
1
3
0
5
+0.188
බස්නාහිර ද.
4
1
2
1
5
-0.575
ඒකාබද්ධ
4
0
4
0
0
-1.917
තරගාවලියේ තරඟ කිහිපයක් කුරුණෑගලදී පැවැත්වීම හේතුවෙන් තර්ඩ් මෑන්හටද නැරඹීමේ අවස්ථාවක් හිමිවිය. වයඹ කණ්ඩායම ක්‍රීඩාකරන තරඟ නැරඹීමට වඩා මා හට අවැසි වූයේ රුහුණ කණ්ඩායමේ උපනායක දිනේෂ් චන්දිමාල්ගේ පිතිකරණය නැරඹීමයි. මෙවර තරඟාවලියදී රුහුණු කණ්ඩායම මෙතරම් දුරක් පැමිණියේ චන්දිමාල්ගේ හා උපුල් තරංගගේ පිතිහරඹය නිසාබව කිවහැක. පසුගියවර වැඩිම ලකුණු ලාභියා වූ ඉන්දික ද සේරම් මෙවර අසාර්ථකවීම කැපීපෙනේ. මේවන විට වැඩිම ලකුණු ලාභියාවනුයේ චන්දිමාල්ය. කුරුණෑගලදී කඳුරටට එරෙහිව වාර්ථාකළ ලකුණු 65 තරඟයේ ජයග්‍රහනයකරා රුහුණ ගෙනයාමට සමත්විය.
Chandimal
එම ඉනිමේදී ඔහුගේ දැවැන්ත 6 පහරවල් හේතුවෙන් කිහිපවිටක්ම අතිරේක විනිසුරුවරයාට පන්දු රැගෙන පිටිය ඒමට සිදුවිය. එම තරඟයේදී සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ කඳුරට කණ්ඩායම වෙනුවෙන් තිලාන් සමරවීර ආරම්භක පිතිකරුවකුලෙස පිටියට පිවිස පන්දු 43 කදී ලකුණු 67ක් ලබා ගැනීමයි.
thilan
වැඩිම කඩුළු ලාභීන් අතරින් මේවනවිට ඉදිරියෙන් සිටින්නේ සචිත්‍ර සේනානායක (රුහුණ) හා ජනක ගුණරත්න (බස්නාහිර දකුණ)යි. විශේෂත්වය වනුයේ මොවුන් දෙදෙනාම පිටදඟ පන්දුයවන්නන් වීමයි.
වැඩිම ලකුණු ලාභීන්
වැඩිම කඩුළු ලාභීන්
මීට අමතරව එළඹෙන 12වනදා 2010 IPL තරඟාවලියද ඇරඹීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 13 දෙනෙකු සහභාගිවීමට නියමිතය. මෙම තරඟාවලිය අප්‍රේල් 25 වනදා දක්වා පැවැත්වේ. ඒ අනුව කණගාටුවට කරුණ වනුයේ T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්හට නිසි සූදානමක් විය හැකිද යන්නයි. මේ වනවිට පැවැත්වෙන අන්තර් පළාත් තරඟාවලියට සුපිරි පිතිකරු ටී. එම්. ඩිල්ෂාන් තරඟ නොවදී, නමුත් එළඹෙන IPL තරඟාවලියට ඔහු අනිවාර්යයෙන්ම සහභාගිවනුඇත. බංග්ලාදේශයේ පැවති පසුගිය තුන්කොන් තරඟාවලියේ අවසන් මහා තරඟය නිමවූ සැනින් ඔහු හෙලිකොප්ටරයකින් නවසීලන්තයේ ක්‍රීඩා පිටියකට T20 තරඟයක් ඇරඹීමට, ඔන්න මෙන්න තබා ගියේ එරට ප්‍රමුඛ පෙළ T20 තරඟාවලියට සහභාගිවීමටයි. අනේ ඒ උනන්දුව, අපේ රටේ තරඟාවලිය ගැනත් ඔහුට තිබ්බනම් !


dilshan

 ප.ලි. :- දිල්ෂාන් මෙතෙක් තරඟාවලියට සහභාගී නොවීමට හේතුව ඇඟිල්ලක ආබාධයක් බව දැනගන්නට ලැබුණි.

Technorati Tags: ,,,,,,,,,,,,,
Read More

යෝජිත හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය

Read More

විවෘත ආරාධනයයි !

වර්තමානයේ මාහට ඇති අධික වැඩ කන්දරාව හමුවේ මෙම බ්ලොග් අඩවිය නිතර අලුත් කිරීම අපහසුවී තිබේ. ඔබ අතරින් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු, මෙය පවත්වාගෙන යාම සඳහා මාහට සහයවීමට කැමතිනම්, thilakmudiyanse@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට ඒබව දන්වන්න.


Read More

සනත් මැද පෙළට !

" සනත් ජයසූරියව අපි තේරුවේ ආරම්භක පිතිකරුවකු හැටියට නෙවේ. අපි එයාව සංචිතයට නම් කළේ මැදපෙළ පන්දුවට පහර දෙමින්, වමතින් දග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසයි. " මේ එළඹෙන ඉන්දීය සංචාරය සදහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබදව අදහස් දක්වමින් තේරීම් කමිටු සභාපති අශන්ත ඩි මෙල් මාධ්‍යය හමුවේ දැක්වූ අදහසක්. එනම්, ඔව්. මේ තරගාවලියේදී ජයසූරිය ඉනිම ආරම්භ නොකරයි. ඔහු පන්දුවට පහරදෙනු ලබන්නේ මැද පෙළ.


" අපි ඔහු පිළිබදව සිතා බැලුවේ මේ සංචාරයට පමණයි. ඉදිරියේදී ඔහු පිළිබදව තීරණය වන්නේ ඔහුගේ දක්ෂතාමත. " තවදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසීය.

සනත් පිළිබදව කථාකිරීමේදී අපට අතීතය අමතක කරන්නට නොහැක. 1996දී කලූ සමග එක්ව එක්දින තරගවල ස්වභාවය උඩුයටිකුරු කළ ඔහු, ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වීමේදී සුවිශේෂී දායකත්වයක් සැපයූ ක්‍රීඩකයෙක් . ඉන් අනතුරුව ඔහු තරග ගණනාවක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා මෙහෙය වූවා. 2003 ලෝක කුසලානයේදී, නායකත්වය දරමින් ස්වෝත්සහයෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා රැගෙන යාමට සමත් වූවා. මෙලෙස සනත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කර ඇති මෙහෙය අතිවිශාලයි.


නමුත්, සෑම ක්‍රීඩකයෙකුම විශ්‍රාම යායුතු වයසක් එළඹෙනවා. මෙයයි යථාර්ථය. සනත් බාහිරින් ශාරීරික යෝග්‍යයතාවෙන් යොවුන් ක්‍රීඩකයන්ට වඩා හොද විය හැක. නමුත්, වටහාගතයුතු යථාර්තය වන්නේ, ඕනෑම අයෙකු වියපත් වීමේදී ප්‍රතීක කාලය වැඩිවීමයි. 40 හැවිරිදි සනත්ටද මෙය පොදු වූවක්. එබැවින් ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩාකරන ඔහු බ්‍රෙට් ලී, ඩේල් ස්ටෙයින් වැනි වේග පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වීමේ සම්භාවිතාව අධිකයි. මෙයට උපක්‍රමයක් ලෙස සීමා රේඛාවෙන් තරමක් ඇතුළට පැමිණ පන්දුවට පහරදීමට ඔහු උත්සාහ කළා. නමුත් එහිදී ඔහු හිට් විකට් ලෙස දැවීයාම නිසා එය අසාර්ථක වූවා.


මින් පැහැදිලි වන්නේ ඔහු විශ්‍රාම යායුතු වයස දැන් පසුකර ඇති බවයි. මෙය අපේ රටේ බොහෝ ක්‍රීඩකයන් කරගන්නා වරදක්. ඔවුන් නිසි වියේදී විශ්‍රාම නොයෑම අපිට බොහෝ විට දක්නට ලැබෙන්නක්. මා දකින අයුරින්නම් සනත් විශ්‍රාම යා යුතුව තිබුණේ 2007 ලෝක කුසලානයත් සමගයි. කෙසේ වුවද, දැන් ඔහුට තවත් අවස්ථාවක් ලැබී තිබේ. මැදපෙළ භූමිකාව වර්තමානයේදී ඔහුට ගැලපෙන බව මාද සිතයි. මන්ද, පිතිකරුවන්ගේ පවර් ප්ලේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔහු වැනි පිතිකරුවෙකුගේ අඩුවක් අපිට සෑහෙන කලක සිට තිබේ.

තවද, සදහන් කළයුතු වැදගත් කරුණක් වනුයේ, මෙවැනි තීරණයක් ගැනීමට තේරීම් කමිටුව සතුවූ නිභීත බවයි. සෑම ක්‍රීඩකයෙකුම තම නමට නොව, දක්ෂතාව මත කණ්ඩායමේ සිටිය යුතුය. මෙය අනෙකුත් ක්‍රීඩකයන් හටද වලංවන්නේ නම් විශිෂ්ඨය.
අවසානයේ මතක් කළ යුතු කරුණක් තිබේ. මාගේ මිතුරෙකු මීට වසර 2ක පමණ සිට පවසනුයේ සනත් දැන් ක්‍රීඩාකළ යුත්තේ අංක 6/7 ස්ථානවල බවයි. මෙම ආරංචියත් සමග අපිට ඔහුගෙන් බේරීමක් නැතිවිය හැක.


Read More

සනත්ගෙන් පසු ?

මෙම බ්ලොග් අඩවියට සටහනක් දැමීමට දින කිහිපයකම ලැහැස්ති වුවද, කුමක් හෝ හේතුවක් මත මගහැරී ගියේය. එබැවින් දින විස්සකින් සටහනක් තැබීමට නොහැකිවීම පිළිබදව පළමුව ඔබගෙන් අයදිමි සමා. මෙම සටහනට නිමිත්ත වූයේ පසු ගිය සතියේදී, වෙස්ලි විද්‍යාලය මගින් පැවැත්වූ ග්ලූකොෆිට් සය සාමාජික පාසල් ක්‍රිකට් තරගාවලියයි. ඒ කෙසේදැයි පසුවට ඔබට පැහැදිලිවේවි.

මෙවර තරගාවලියද ඉතා සාර්ථක අයුරින් පැවති අතර සහභාගීවූ බොහෝ ක්‍රීඩකයන් වයස 17 පමණ ක්‍රීඩකයන් විය. මෙහිදී බොහෝ ක්‍රීඩකයන් ඩිල් ස්කූප්, පැඩල් ස්වීප් වැනි පහරවල් වලට මේ වයසේදීම යොමුවීම නම් කිසිසේත්ම අනුමත කළ නොහැකි තත්වයකි. නමුත්, අවාසනාවකට සිදුවූයේද එයමයි. සය සාමාජික තරගවලදී පිටියේ ඉදිරිපස ඕනෑතරම් හිඩැස් තිබියදී, ක්‍රීඩකයන් මෙවැනි අවදානම් පහරවල් කරායාමට හේතුව විය හැක්කේ, රූපවාහිනියෙන් දකින තම වීරයන් අනුකරණයට වියහැක. මාගේ මතකය නිවැරදිනම්, පෙර තරගාවලිවලදී සහභාගී වූයේ වයස 19 පමණ ක්‍රීඩකයන්ය. එබැවින් මගේ මතයනම්, මෙවැනි තරග සදහා වයස 19 ට අඩු ක්‍රීඩකයන් යොදා නොගතයුතු බවයි.

කෙසේ වුවත්, මෙහිදී දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දක්නට ලැබුණි. මෙහිදී වැඩියෙන්ම මාගේ අවදානයට ලක් වූයේ ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිත ඩි මෙල් ය. ඔහුගේ ප්‍රවේගකාරී පිතිකරණය මා ගියවර තරගාවලියේ මතකයක් වෙත රැගෙනයාමට සමත් විය. ඒ ගියවර ආනන්දයේ නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් වෙතයි. මා ප්‍රථමයෙන්ම චන්දිමාල් දුටුවේ පසුගියවර පැවති තරගාවලියේදීය. එහිදී ඔහුගේ පිතිකරණයේ ප්‍රවේගවත් බවත්, කඩුළු රැකීමේදී තිබූ වෘත්තීය මට්ටමත් දුටු මා එදින විස්මිත විය. එහිදී මා හට කල්පනා වූයේ මොහු ලංකාවෙන් බිහිවන ගිල්ක්‍රිස්ට් කෙනෙක් වන බවයි. එතැන් පටන් මා ඔහු පිළිබදව දැඩි අවදානයකින් පසුවිය.


ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට මුලපිරුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙනි. ආරම්භයේදී පිට දග පන්දුයවන්නෙකු ලෙස ක්‍රීඩාකළ මොහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ ඇතිවූ ගැටලුවක් නිසා, පසුව කඩුළු රැකීමට යොමුවී තිබේ. ආනන්දයට පැමිණීමට ප්‍රථම ඔහු ධර්මාශෝකයේ 13 න් පහළ, 15 න් පහළ කණ්ඩායම්වල නායකත්වය දරා තිබේ. 2007 වසරේදී ඔහු ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම නියෝජනය කරමින්, ඔස්ට්‍රේලියාවට එරෙහිව දවාගැනීම් 8කට කඩුළු රකින්නෙකු ලෙස දායක වී වාර්ථාවක් පිහිටුවීමට සමත්විය. තවද, ඉන්දියානුවන්ට එරෙහිව වාර්ථාකළ 143 හා සීමිත පන්දුවාර තරගයකදී එංගලන්තයට එරෙහිව වාර්ථා කළ 112 ද පිතිකරණයේ ඔහුගේ දක්ෂතා පෙන්වයි.



2009 වසරේදී ඔහු වාර්ථාගත ජයග්‍රහන 12 ක් සදහා ආනන්දය මෙහෙයවීය. තවද, ලකුණු 1580 ක් ලබාගනිමින් පාසල් තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වීමටද ඔහුට හැකිවිය. අන්තර් පාසල් 19 න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේදී, කඩුළු රකින්නෙකු ලෙස දවා ගැනීම් 64 කට දායකත්වය ලාබා දුන් අතරම, පිතිකරුවකු ලෙස මොරටුව විද්‍යාලයට එරෙහිව ලකුණු 205 ක් ලබාගනිමින් එතෙක් පැවති රසල් ආනල්ඩ්ගේ ලකුණු 170 වාර්ථාව බ්ද දැමීමට සමත්විය. ආනන්දයේ නායකත්වයට අමතරව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වද දැරූ ඔහු, මේ වසරේදී ඔබ්සවර් - මොබිටෙල්, දිවයිනේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට විය.


ඔහු තම ප්‍රථම පළමු පෙළ තරගයලෙස සභාගිවූයේ, පසුගිය නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සමග පැවති ප්‍රථම පුහුණු තරගයයි. එහිදී පළමු ඉනිමේදී ඔහු ලකුණු 64 ක් ලබාගන්නා ලදි. දෙවන පුහුණු තරගයේදී ඔහු ඩැනියෙල්  විටෝරි ඇතුළු නවසීලන්ත පන්දුයවන්නන් හමුවේ ලකුණු 109 ක් ලැබීමට සමත්විය. වර්ථමානයේදී මොහු ශ්‍රී ලංකා නායක කුමාර සංගක්කාරගේ ආරාධනයෙන් NCC කණ්ඩායමට ක්‍රීඩාකරයි. එහි කඩුළු රැකීමේ කාර්යය මොහුට පැවරීමට තරම් සංගක්කාර කටයුතුකර තිබීම ඉතාමත් ප්‍රශංනීයයි.

මා යොදා ඇති මාතෘකාව අනුව ඔබට දැන් වැටහෙනවා ඇති ගොනා හැරෙන්නේ පොල් පැළයට බව. ඔව්, එසේනම් දැන් අපි බලමු සනත්ගේ ස්ථානයට මොහු සුදුසු වන්නේ කෙසේද කියා. මොහු සනත් වැනිම ප්‍රවේගකාරී පිතිකරුවෙකි. තවත් ප්‍රවේගකාරී පිතිකරුවන් සනත්ගේ ස්ථානය වෙනුවෙන් බලාසිටියද, මොහුගේ කඩුළු රැකීමේ හැකියාව නිසා ඔවුන්ට වඩා මොහුට යම් ඇති අවස්ථාව වැඩිබව මගේ හැගීමයි. මන්ද, වර්ථමානයේදී සංගක්කාරට නායකත්වය හිමිවීමත් සමග, පිටිය මැදදී සංගක්කාරගේ ඉවසීමේ සීමාව ඉක්මවීම් නිතර නිතර දක්නට ලැබීමේ ගැටලුවක් ඇත.මෙයට හේතුව කඩුළු රැකීමත් සමග නායකත්වය දැරීම විය හැක. එබැවින් එක්දින තරග සදහාද සංගක්කාර කඩුළු රැකීමෙන් මිදී චන්දිමාල් වැනි ප්‍රවේගකාරී පිතිකරුවෙකුද වන කඩුළු රකින්නෙකුට කඩුළු රැකීම භාරදීමෙන් කණ්ඩායමට මෙන්ම සංගක්කාරටද යහපතක් වනබවයි මගේ හැගීම.


Read More

~ දීවාලි හෝගී කප්වාලි ~

මේ කුමක්ද ? හින්දි චිත්‍රපටයක්ද ? නැත. මේ 8 වෙනිදා ඇරඹෙන චැම්පියන්ස් ලීග් T20 තරගාවලියේ ප්‍රචාරක පාඨයයි. ඉන්දියාවේ දිල්ලි, හයිද්‍රාබාද්, බැංගලෝර් යන නගර වලදී, ලොව නන්දෙසින් පැමිණි කණ්ඩායම් 12 ක් මෙහිදී තරග වදිනු ලබනවා. මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, අන්තර් පළාත් ශූරතාව දිනූ වයඹ පළාත් කණ්ඩායම ද සහභාගිවේ.



  1. ඩෙකෑන් චාජර්ස් - ඉන්දියාව
  2. බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් - ඉන්දියාව
  3. දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - ඉන්දියාව
  4. වයඹ XI - ශ්‍රී ලංකාව
  5. සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය - එංගලන්තය
  6. සසෙක්ස් ශාර්ක්ස් - එංගලන්තය
  7. නිව් සවුත් වේල්ස් බ්ලූස් - ඕස්ට්‍රේලියාව
  8. වික්ටෝරියන් බුෂ්රේන්ජර්ස් - ඕස්ට්‍රේලියාව
  9. කේප් කෝබ්‍රාස් - දකුණු අප්‍රිකාව
  10. ඩයමන්ඩ් ඊගල්ස් - දකුණු අප්‍රිකාව
  11. ඔටෑගෝ වෝල්ට්ස් - නවසීලන්තය
  12. ට්‍රිනිඩෑඩ් හා ටොබෑගො - බටහිර ඉන්දීය කොදෙව් දූපත්
මෙහිදී වයඹ කණ්ඩායම නියෝජනය කරමින්,
ජෙහාන් මුබාරක් (නායක ), මහේල ජයවර්ධන, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, ෆර්වීස් මහරූෆ්, කෞෂාල් ලොකුආරච්චි, ජීවන්ත කුළතුංග, මහේල උඩවත්ත, තිසර පෙරේරා, සමීර සොයිසා, ශාලික කරුණානායක, ඉසුරු උදාන, ඉෂාර අමරසිංහ, චානක වෙළගෙදර, මයිකල් වැන්ඩොර්ට්

යන ක්‍රීඩකයන්ද,
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ටී.එම්. ඩිල්ෂාන් හා ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම නියෝජනය කරමින් චමින්ද වාස් ද ශ්‍රී ලංකාවෙන් මෙම තරගාවලියට සහභාගිවේ.

8 වෙනිදා සිට 23 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගිවන සෑම කණ්ඩායමකම සිහිනය වනුයේ මෙහි ශූරතාව දිනාගනිමින් ලොව හොදම පළමු පිළ T20 කණ්ඩායම වීමයි. තවමත් ශ්‍රී ලංකාව තුළ මෙය විකාශය වීමක් පිළිබදව අසන්නට නැතත්, තරගාවලිය අතර මැදදී ප්‍රේක්ෂක ඉල්ලීම්මත විකාශය කෙරේ යැයි බලාපොරොත්තු වියහැක. මෙහි අන්තර්ජාතික විකාශන අයිතිය ලබාගෙන ඇත්තේ ESPN සමාගමයි.


Read More

පාදය වේදනා දුන්නද, මා නොදැවේනම්, කුමක් කරම් ?

විනිසුරු "ප්ලේ" යනුවෙන් පැවසීය. තරගය ඇරඹිණි. පළමු පන්දුවාරය යැවීම සදහා කුලසේකර දිව ආවේය. පිතිකරු මැකලම්. සුපුරුදු පරිදි කුලසේකර පළමු පන්දුව පිට ඉන්නෙන් පිටත පතිතකළ අතර, මැකලම් පන්දුව නිදැල්ලේ හැරීය. කෙසේ හෝ පළමු පන්දුවාරයේ ලකුණු 2 ක් ලබාගැනීමට පිතිකරුවන් සමත්විය. දෙවන පන්දුවාරය යැවීම තුෂාරට පැවරිනි. පළමු පන්දුවට ලකුණක් ලබාගැනීමට රයිඩර් හට නොහැකි වුවද, තෙවන පන්දුවට මුහුණදුන්නේ මැකලම්ය. තුෂාරගේ කරුමයට සිව්වන පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරු සලකුණු කරනලදි. පස්වන පන්දුව යැවූපසු විනිසුරු තිරසට අත වැනුවේය.මෙලෙස තුෂාර හා කුලසේකර තවත් පන්දුවාර දෙකක් යවා, නැවතත් කුලසේකර තම තෙවන පන්දුවාරයේ පස්වන පන්දුව යැවීමට සූදානම් විය. එවිට කිවියන් පන්දුවාර හතරකුත් පන්දු හතරක් තුළ, රදවාගෙන තිබූ ලකුණු වේගය වූයේ 5.35 කි. කුලසේකර පන්දුව යැවීය. රයිඩර් මිඩ්විකට් කළාපයට පන්දුව යොමුකර ලකුණක් සදහා දිවගියේය. එක්වරම ඔහුගේ වම් කකුළෙන් වේදනාවක් දැනුණි. ඔහු පිටියේ දිගාවිය. මොහොතකින් භෞතචිකිත්සක සුරූපිණිය පිටියට පැමිණියේය. ඇයගෙන් පිටිය මැද ප්‍රතිකාර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඇය විවේකාගාරය දෙසට සං‍‍ඥා කරමින් දුවන්නෙකු අවශ්‍යය බව දැන්වීය.



රයිඩර් වෙනුවෙන් දිවීම සදහා ඩැරල් ටෆී පිටිය පැමිණියේය. රයිඩර්හට තිබුණේ තමා ගැනම තරහකි. මන්ද, ඔවුන් පෙර දකුණු අප්‍රිකාණුවන් හමුවේ ලැබූ පරාජය නිසා මෙම තරගයේ ජය අනිවාර්යය වීමයි. නමුත් සිදුවී ඇත්තේ තමන්ට ඉක්මනින් පිටියෙන් ඉවත්වීමට සිදුවීමයි. මෙම තරගයට ඔහු පැමිණියේ දහසකුත් බලාපොරොත්තු තබාගෙනයි. මන්ද, මෙයට පෙර ඔහු ක්‍රීඩා කළ ඉනිම් 3 හිම ඔහුගේ ලකුණු සටහන් වූයේ 0,0,8 ලෙසය. එබැවින් ඔහු පැමිණියේ කෙසේ හෝ නැවත ලකුණු අතරට පැමිණීමේ අටියෙනි. එහෙත්, සිදුවී ඇත්තේ ලකුණු 7 ක් ලබා තිබියදී ආබාධයකට ගොදුරු වීමයි. ඔහුට තම තරබාරු ශරීරය සමගම කෝපයක් හටගත්තේය. "දැන් කරන්න දෙයක් නෑ. මට අයේ දවස් ගානකට සෙල්ලම් කරන්න වෙන්නෙ නෑ. වෙනදෙයක් වුනාවේ. එන ඕන බෝලයකට මම බැට් එක වනනවා." ඔහු දැඩිව සිතා ගත්තේය. එතැන් පටන් තරගයේ ස්වරූපය වෙනස්වන්නට වැඩිවේලා ගතවූයේ නැත. තුෂාර යැවූ මීළග පන්දුවාරයේදී කවර් පොයින්ට් කළාපය හරහාත් පිත්තේ දාරයක වැදී ත'ර්ඩ් මෑන් කළාපය හරහාත් හතරේ පහර දෙකක් එල්ල කිරීමට ඔහු සමත් විය. ඉන්පසු පන්දුවාරයේදී හයේ පහරක්ද සමග ලකුණු 14 ක් ඔහු රැස්කිරීය. ඔහුට වැඩිවේලා පිටියේ රැදී සිටීමට කිසිදු අවශ්‍යතාවක් නොවීය. ඔහු තම ඉච්ඡාභංගත්වය මෙම පහර දීමෙන් තුණීකර ගැනීමට උත්සාහ කළේය. ඔහු කල්පනාකළේ පන්දුවාර කිහිපයක් තුළ ඔහු දැවීයන බවත්, ඊටපෙර කණ්ඩායමට හැකිතාක් ලකුණු රැස්කරදීමත් ගැනය.

නමුත්, ඔහුගේ වාසනාවට හෝ අවාසනාවට, නැත්නම් ප්‍රතිවාදීන්ගේ අවාසනාවට, ඔහු පිත්ත වනණ සෑම විටම පාහේ පන්දුව පිත්තේ කොහේ හෝ කොනක වැදී, හතරේ සීමාව පසු කළේය. නැතහොත් පන්දු රකින්නන් නොමැති ස්ථානවල පතිත විය. එසේත් නැත්නම් දුන් උඩපන්දුව අතහැරියේය. "පාදය වේදනා දුන්නද, මා නොදැවේනම්, කුමක් කරම් ?" ඔහු තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තාකරන ලදි. ඒ පන්දු 28 කිනි. නමුත් තවමත් ගෙවී ඇත්තේ පන්දුවාර 10 කි. කෙසේ හෝ, ඔහුගේ මෙම ප්‍රහාරය දරාගත නොහී, ප්‍රතිවාදී නායකයා පවර් ප්ලේ එක ගැනීම කල්දමන ලදි.එබැවින් ඔහුට එක, දෙක බැගින් ලකුණු ලබා ගැනීමට සිදුවිය. එනම්, ටෆීට වැඩ බහුලවිය. නමුත්, ලැබෙන අවස්ථාවලින් ඵළ නෙළීමට ඔහු පසුබට නොවීය. එවන් අවස්ථාවල පන්දුව නතරවූයේ හතරේ සීමාවෙන් එපිටය. 20 වන පන්දුවාරයේ අවසාන පන්දුව එළ්ඹිණි. ඒ වන විටත් ඔහු මෙම පන්දුවාරයට හතරේ පහරක් එල්ලකර තිබුණි. කුලසේකර දිවඒ. රයිඩර් සූදානම්. රයිඩර් සුපුරුදු ලෙසම පිත්ත හැකිතාක් වේගයෙන් වැනුවේය. නමුත් මෙවර, පිත්තේ දාරයක වැදුණු පන්දුව සංගක්කාර අතට පත්විය. ඔව්, ඔහු දැවීගියා. නමුත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරයි. ඔහුට තවමත් තමා පිළිබදව ඇත්තේ කෝපයකි. සියලු ප්‍රේක්ෂකයන් අසුන් වලින් නැගිට ඔහුට අත්පොලසන් දෙන විට, ඔහු හතරේ සීමාව ආසන්නයේ තිබූ පුටුවකට පිත්තෙන් දමා ගැසීය. ඔහුට නැවත් මෙම තරගාවලියට ක්‍රීඩාකිරීමට වන්නේ නෑ. නමුත් ඔහුගේ එක් බලාපොරොත්තුවක් ඉටුවිය. ඒ ඔහු නැවත් ලකුණු අතරට පැමිණීමයි. නමුත් ඔහුගේ අබාධය සුවවන්නේ කවදාද ?

* සත්‍යය සිදුවීමක් ඇසුරිනි



Read More

නිවසෙන් පිට නවාතැන

ශ්‍රී ලංකාව ලස්සන රටක්. එහි ආගන්තුක සත්කාර බොහොම ඉහළයි. එහි අප ගිය විට නවාතැන්ගන්නා බොහොමයක් හෝටල්වල ඇති වැකියක් වන්නේ, "නිවසෙන් පිට නවාතැන" යන්නයි. අද අපට පෙනෙන්නේ දකුණු අප්‍රිකානුවන්ද මෙම තේමාව යොදාගන්නා බවකුයි.

ඉහත සදහන් කරනලද්දේ ඊයේ තරගයේ, ලකුණු 17 කට කඩුලු 4 ක් දැවී ශ්‍රී ලංකාව අසීරු තත්වයක සිටියදී, විස්තර විචාරක හර්ෂා භෝග්ලේ කරනලද ප්‍රකාශයකි. මෙයට හේතුව වන්නේ, ඊයේ තණතීරුව මෙන්ම කාලගුණයද එංගලන්තයේ තත්වයන්ට ගැලපෙනලෙස සකස්වී තිබීමයි. ඊයේ තණතීරුවමෙන් හරිතවර්ණයෙන් බැබලෙන තණතීරුවක බහුතරයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මීට පෙර ක්‍රීඩාකර නොතිබීම, එවන් තත්වයටතේ නිතර ක්‍රීඩා කරන එංගලන්තය හමුවේ පරාජයට හේතුවබව පෙනීයයි. දකුණු අප්‍රිකාවේ වර්තමානයේ පවතින සිසිර ඍතුවේදී ඇති වියළිබව නිසා, තරගාවලියේ අතරමැද තණතීරු කැඩීමේ හැකියාවක් ඇතිනිසා මෙලෙස තෘණ බහුල තණතීරු සැකසීමට හේතුව ලෙස ඇතමුන් දක්වයි. එහි යම් සත්‍යතාවයක් පෙනීයන්නේ, අද දින කොදෙව්වන් හා ඔස්ට්‍රේලියානුවන් අතර තරගය පවත්වන්නේද, ඊයේ තණතීරුවේම වීමයි. එනම් ඊයේ තණතීරුව සැකසිය යුතුවන්නේ අද තරගයද පැවැත්වීම සදහායි. කෙසේවුවත්, සංගක්කාර පැවසූවේ කාසියේ වාසිය ජයගත්තේ නම්, පළමුව පන්දුවට පහරදීමට සිටි බවයි.Shock මෙය කේතරම් දුරට නිවැරදි තීරණයක් යන්න සැලකිය යුතුය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේදී, ඩිල්ෂාන් තම පහරවල් වලට යාමට පෙර විකට්ටුව පිළිබද තක්සේරුවක් ලබාගත්තේ නම් සංගක්කාර හා මහේල වෙත යොමුවන පීඩනය අඩුවනු ඇත. තවද, සංගක්කාර අනවශ්‍යය පහරකට ගොස් දැවීයාම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වැනිවිය. Zany කෙසේවුවත්, සමරවීර තම වටිනාකම පෙන්නුම් කළේය. කණ්ඩම්බි හා මැතිව්ස් තම තාක්ෂණික හැකියාවන් දැක්වීය. අවාසනාවන්ත ලෙස කණ්ඩම්බි දුවද්දී දැවීනොයන්න 250 සීමාවට ලගාවීමේ හැකියාවක් තිබුණි. මන්ද, ඉන්පසුව පන්දුවාර දෙකහමාරක් ඉතුරුව තිබියදී සියල්ලන්ම දැවීයාමයි. කෙසේ වුවත්, මෙම තරගයේදී මැතිව්ස් හා අනියන්ස්ගේ ගැටීම සම්බන්ධයෙන් ස්ට්‍රව්ස් ක්‍රියාකළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. Bravo!ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව බවට මෙම සිදුවීම හොද උදාහරණයක් විය.

පන්දු යැවීමේදී, නුවන් කුලසේකර තණතීරුවෙන් සීම් වීමක් ලබාගත්තද, බලාපොරොත්තු වූ ලෙස රාත්‍රියේ එතරම් ස්විං වීමක් දක්නට නොලැබුණි. පසුව පන්දුව සීම් වීමද අඩාල වූ බවක් දක්නට ලැබුණි. තවද, කුලසේකර හා මැතිව්ස් මද වේග පන්දු යවන්නන් වන බැවින් කොලිංවුඩ් වැනි පිතිකරුවන් කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට පැමිණ පහරදෙන ලදි. ලසිත් මාලිංග මෙවැනි තණතීරුවලට සුදුසුවේද යන්න ගැටලුවක් වී තිබේ. වසීම් අක්‍රම් පවසන ආකාරයට, ඔහු ෆ්ලැට් විකට්ටු සදහා උචිතවුවත්, මෙවැනි තෘණ බහුල වේගවත් තණතීරු වලදී ඔහුගේ ඉරියව්වෙන් ඉපිලීමක් ලබාගත නොහැක. මෙවන් තත්වයකදී තිලාන් තුෂාරගේ අඩුව නොසෑහෙන්න දැනුණි.



ලකුණු පුවරුව


හෙට දින නවසීලන්තය සමග තරගය ද පවත්වන්නේ මෙම ක්‍රීඩාංගනයේමය. බොහෝවිට එම තරගයද ඊයේ විකට්ටුවේම පවත්වන්නට ඇති අවස්ථාව වැඩිය. එසේ නොවුනහොත් තත්වය දරුණුවේ. මෙම තරගය දිවා තරගයක් නිසා දෙවනුව පන්දුවට පහරදීම වැදගත්වේ. ලසිත් හෝ මුරලි කණ්ඩායමෙන් ඉවත්කිරීම ඕනෑම කණ්ඩායමක නායකයෙකුට අපහසු තීරණයක් වුවත්, මෙවන් තණතීරුවල දගපන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩාකිරීම විහිළුවකි. එංගලන්තයට පරාජයවූ පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිය අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.Bye bye නවසීලන්ත පන්දු යවන්නන්හට ඉදිරිපෙළ කඩුලු තොග වශයෙන් මුලදීම පූජා කිරීමෙන් වැලකීම අනිවාර්යය කරුණක් වනු ඇත. මන්ද, වොන්ඩරස් පිටියේ තත්වයන් නවසීලන්තයට ද නිවසෙන් පිට නවාතැනක් වන බැවින්.
Read More