Showing posts with label රසවත්. Show all posts
Showing posts with label රසවත්. Show all posts

බංග්ලාදේශ නායකයා ඉන්දියාවේ ටෙස්ට් තත්වය ප්‍රශ්න කරයි !

ඊයේ ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවති ඉන්දු - එංගලන්ත දෙවන ටෙස්ට් තරඟය අවසන් වූයේ ඉන්දියාවට ලකුණු 319 ක අමිහිරි පරාජයක් හිමිකර දෙමින්. මෙහිදී ඉන්දියාවේ පිතිකරුවන්ගේ දුර්වලතාව කැපී පෙනෙන්නක් විය.

තවද ඊයේ අවසන්වූ බංග්ලාදේශ - සිම්බාබ්වේ තෙදින පුහුණු තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදී බංග්ලාදේශ නායක සකීබ් අල් හසන්, ඉන්දු - එංගලන්ත තරඟාවලිය පිළිබඳව අදහස් දැක්වීමට ඉදිරිපත්විය.

" මම නම් හිතන්නෙ නෑ ඉන්දියාව ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු කණ්ඩායමක් කියල. බලන්න, ඔවුන් අවසාන ටෙස්ට් ඉනිම් 7 තුළදී ලකුණු 300 කඩඉම පසු කර ඇත්තේ එක්වතාවක් පමණයි. අවසාන ඉනිම් 5 සැළකුවහොත් එක් වතාවක්වත් නැහැ. නමුත් බංග්ලාදේශය අවසාන ඉනිම් 7 තුළදී තෙවතාවක් ලකුණු 300 කඩඉම පසු කරන්න සමත්වුනා. එයට එංගලන්තයට එරෙහිව ඩකා හිදී රැස්කළ ලකුණු 419 හා ලෝර්ඩ්ස් හිදී රැස්කළ ලකුණු 382 ඇතුලත්. නමුත් ලෝකයේ බොහෝ දෙනෙක් පවසනවා බංග්ලාදේශය ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු නැතිබව. මම දන්නෙ නෑ ඇයි ඔවුන්ට ඉන්දියාවේ මේ දුර්වල ක්‍රීඩා විලාශය නොපෙනෙන්නේ කියලා. "

තවදුරටත් සකීබ් වර්තමානයේ සිටින දුර්වල ඉන්දීය ආරම්භක පිතිකරුවන් පිළිබඳව අදහස් දැක්විය.
" ඇත්ත වශයෙන්ම මෙම තරඟාවලියේදී ඔවුන්ගේ ආරම්භයන් ඉතාමත් දුර්වලයි. එය කිසිසේත්ම ටෙස්ට් කණ්ඩායමකට නොගැලපෙන්නක්. ඔබට මතක ඇති පසුගිය වසරේදී ලෝඩ්ස් පිටියේදී හා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී තමීම් බායි (සහෝදරයා) පන්දු 100 කින් වාර්තාකළ ශතක 2 . තවද අපගේ අනෙක් ආරම්භක පිතිකරු ඉම්රුල් කයිස් ද හොඳින් ලකුණු රැස්කළා. නමුත් ලෝකයේ බොහෝ දෙනෙක් පවසනවා බංග්ලාදේශය ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු නැතිබව. මම දන්නෙ නෑ ඇයි ඔවුන්ට ඉන්දියාවේ මේ දුර්වල ක්‍රීඩා විලාශය නොපෙනෙන්නේ කියලා. "

අනතුරුව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු ප්‍රකාශ කළේ, විරේන්ද්‍ර ෂෙවාග් නැවත ඉන්දීය කණ්ඩායමට එක් වුවද මේ තත්වයේ වෙනසක් සිදුනොවන බවයි. සංඛ්‍යයා දත්ත අනුව ද එසේ සිදුවීමේ ඉඩකඩ වැඩිය. ෂෙවාග් එංගලන්තය තුළදී ටෙස්ට් තරඟවල පවත්වාගෙන යන සාමාන්‍යය වනුයේ 39.5 කි. මීළඟ තරඟ 2 පැවැත්වෙන; එඩ්ග්බස්ටන් හිදී ඔහු එකදු තරඟයක් හෝ ක්‍රීඩා කර නොමැති අතර, ඕවල් හි ඔහුගේ සාමාන්‍යය 12 ක් වේ. කෙසේවෙතත් බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් එංගලන්තයේදී 67 ක සාමාන්‍යයක් පවත්වාගැනීමට සමත්ව තිබේ.

මාධ්‍යවේදීන් විසින් ක්‍රීඩාවේ ජීව ගුණය පිළිබඳව නැඟූ ප්‍රශ්නවලට පිළිතුරුදුන් සකීබ් කියාසිටියේ,

"ඒ අවස්තාව බංග්ලාදේශ කණ්ඩායමට උදාවූවානම්, මම අපේ පුහුණුකරු ස්ටුවර්ට් ලෝ සමඟ 4 වන දිනයේ උදෑසන එංගලන්ත විවේකාගාරයට ගොස්, ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් ඉනිම අත්හිටුවන ලෙස හෝ තරඟය ජය පරාජයෙන් තොරව අවසන්කරන මෙන් ඉල්ලා සිටිනවා. නමුත් ලෝකයේ බොහෝ දෙනෙක් පවසනවා බංග්ලාදේශය ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න සුදුසු නැතිබව. මම දන්නෙ නෑ ඇයි ඔවුන්ට ඉන්දියාවේ මේ දුර්වල ක්‍රීඩා විලාශය නොපෙනෙන්නේ කියලා. "

අවසාන වශයෙන් සිම්බාබ්වේ සමඟ පුහුණු තරඟය පරාජයවීම පිළිබඳවද ඔහු අදහස් දක්වීය.
" ඇත්තවශයෙන්ම, හැමෝම දන්නවා අපි තරඟාවලියකට අවතීර්ණ වෙන්නේ සෙමින් කියලා. අනික මේක ටෙස්ට් තරඟය සඳහා තිබූ පුහුණු තරඟයක් පමණයි. මම බලාපොරොත්තුවෙනවා තමීම් බායි කණ්ඩායමට පැමිණීමත් සමඟ අපිට ටෙස්ට් තරඟය ජයගන්න ලැබෙයි කියලා. "

සැ. යු. : මෙය හුදු ප්‍රබන්ධයක් පමණි


ප.ලි. : මෙය මවිසින් 2/08/2011 වන දින cricturf.com හි පලකළ හාස්‍යෝත්පාදක ලිපියකි
Read More

නන්නාඳුනන දඟ පන්දු යවන්නාගේ ආගමනය

එළඹෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා, ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි. මේ වනවිට බොහෝ ක්‍රීඩා ලෝලීන්හට මතුව ඇති ගැටලුවක්වනුයේ ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇති පිට දඟ පන්දුයවන නේතන් ලියොන් ගේ තේරීමයි. තවමත් 23 හැවිරිදි ඔහු, ක්‍රීඩාකර ඇත්තේ පළමු පෙළ තරඟ 4 ක් පමණයි.

මොහු පිළිබඳව දැන ගැනීම සඳහා අප ලියොන්ගේ පුහුණුකරුවන "ඩැරන් බැරී" සම්බන්ධකර ගන්නා ලදි.

ක්‍රික්ටර්ෆ් වාර්තාකරු : වාර්තාවන ආකාරයට ලියොන්ගේ නිසඟ හැකියාවන් හඳුනා ගෙන ඔහුව "දකුණු ඕස්ට්‍රේලියානු" ප්‍රාන්ත කණ්ඩායම වෙත ගෙනවිත් ඇත්තේ ඔබයි. ඒ මතකය අවදිකළොත්.

ඩැරන් : ඔව්. මීට වසරකට පමණ පෙර ඔහු අපේ ක්‍රීඩාංගනයේ (ඇඩිලේඩ්) තණතීරු සැකසීම් අංශයට සම්බන්ධවුනා. එක් දිනක් ඔහු ක්‍රීඩාංගනයේ සැකසීම් කටයුතු වල යෙදෙමින් සිටියදී, මම ඔහුගෙන් විශිෂ්ට දඟ පන්දු යවන්නෙකුගේ ලක්ෂණ දුටුවා. ඔහු පිටියේ යාර 15 සීමාව ලකුණු කිරීමට යොදන පියනක්, විසි කිරීමේදීයි මා එය නිරීක්ෂණය කළේ.

ක්‍රි. වා. : බොහොම සිත්ගන්නා කතාවක් වගේ. ඔබ මොකක්ද දුටුව විශේෂත්වය.

ඩැරන් : ඔහු එය විසි කරපු ඉරියව්වෙන් මා, අපට සිටි විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වන "බ්‍රැඩ් හොග්" හා සමානකමක් දුටුවා.

ක්‍රි. වා. : එය සිදුවිය නොහැක්කක්. බ්‍රැඩ් හොග්, වමතින් මැනික් කටුව උපයෝගී කරගෙන පන්දු යවන්නේ. නමුත් ලියොන්, දකුණතින් ඇඟිලි උපයෝගී කරගෙන පන්දු යවන ක්‍රීඩකයෙක්නෙ ?

ඩැරන් : ඔබට එක් කරුණක් අමතක වුනා. හොග් මැණික් කටුවට අමතරව පන්දු යැවීම සඳහා "දිව" ද උපයෝගී කරගන්නවා.
ක්‍රි. වා. : එතකොට ඔබ කියන්නේ ලියොන් ද, පන්දු යැවීම සඳහා දිව උපයෝගී කරගන්නා බවයි ?

ඩැරන් : අනිවාර්යෙන්ම. ඔහු අනාගතයේ විශිෂ්ට පන්දු යවන්නෙකු වනවා නියතයි.

මීළඟට අපි සම්බන්ධ කරගත්තේ, නේතන් ලියොන් ව ;

ක්‍රි. වා. : ඩැරන් අපිට විස්තර කළා, ඔබගේ සැඟවුනු හැකියාවන් ඔහු හඳුනාගත් ආකාරය. මොනවද ඔහු මුලින්ම ඔබගෙන් ඇසුවේ ?

ලියොන් : ඒ පසුගිය වසරේදී ඇඩිලේඩ් ක්‍රීඩාංගයේ සේවයට මා බැඳුන අලුත. දිනක් මා ක්‍රීඩාංගනයේ සිටියදී ඩැරන් මා වෙත පැමිණ ඇසුවා, " පුතා, ඔබ Spinner කෙනෙක් වෙන්න කැමතිද ? " යනුවෙන්. මා ඔහුට පැවසුවා මා "Spinners" දැනටමත් භාවිතා කරන බවත්. ශේන් වෝර්න් මාගේ ප්‍රියතම පන්දු යවන්නා බවත්. ඇත්තටම "Spinners" අනෙක් වර්ගවලට වඩා ආකර්ශනීයයි.

ලියොන් තම මතකයන් එසේ අවදි කරයි.

අනතුරුව අප සම්බන්ධ කරගත්තේ ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ සභාපති "ඇන්ඩෲ හිල්ඩ්‍රිච්".

ක්‍රි. වා. : හිල්ඩ්‍රිච් මහත්මයා, ඔබගේ නවතම දඟ පන්දු තාරකාව ලියොන් ගැන ඔබේ අදහස කුමක්ද ?

හිල්ඩ්‍රිච් : ඔව්. අපි ඔහුගෙන් සුවිශේෂී පන්දු යවන්නෙකුගේ ලක්ෂණ දුටුවා. ඇත්ත වශයෙන්ම මීට පෙර එවැනි ලක්ෂණයක් අප දුටුවේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ බ්‍රැඩ් හොග් ගෙන්. විශේෂයෙන්ම එක්දින තරඟවලට අපට සිටි හොඳම දඟ පන්දුයවන්නෙක් තමයි හොග්. අවාසනාවකට වෝන් හා මැක්ගිල් නිසා ඔහුට ටෙස්ට් තරඟ ක්‍රීඩාකිරීමේ අවස්තාව බොහෝවිට මඟ හැරුනා. ඒ වගේම, හොග් තරම්ම නොවුනත් ෂේන් වෝන් ද ඇතැම් වෙලාවන්හිදී පන්දු යැවීම සඳහා දිව උපයෝගී කරගත්තා.

ක්‍රි. වා. : එතකොට ඔබත් ලියොන්ගෙන් එවැනි දස්කම් බලාපොරොත්තු වෙනවා ?

හිල්ඩ්‍රිච් : අනිවාර්යෙන්ම. ඔහුට තම දිව පන්දු යැවීමට යොඳා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබෙනවා. මෙතෙක් ඔහු සහභාගී වූ පළමු පෙළ තරඟ 4 තුළදී පන්දුවාර 173 කුත් එක් පන්දුවක් යවා ඇති අතර, එහිදී ඔහු පන්දුවාර 167. 1 ක් යැවීම සඳහා දිව උපයෝගීකරගෙන තිබෙනවා. එය 96.5% ක ප්‍රතිශතයක්.

ක්‍රි. වා. : ඉතුරු පන්දුවාර 6 ?

හිල්ඩ්‍රිච් : අහ්... එක් දිනයකදී, තේ පානයෙන් අනතුරුව ඔහුට තම දිව උපයෝගී කරගැනීමේ බාධාවක් මතුවුනා.

මෙලෙස ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව හා ලියොන්ගේ පුණුකරු ඇතුළු සුවහසක් ක්‍රීඩා ලෝලීන් ලියොන් ගැන තබා ඇති බලාපොරොත්තු අතිමහත්ය.

සැ. යු. : මෙය හුදු ප්‍රබන්ධයක් පමණි

ප.ලි. : මෙය මා විසින් cricturf.com සඳහා රචිත ලිපියකි
Read More

පාදය වේදනා දුන්නද, මා නොදැවේනම්, කුමක් කරම් ?

විනිසුරු "ප්ලේ" යනුවෙන් පැවසීය. තරගය ඇරඹිණි. පළමු පන්දුවාරය යැවීම සදහා කුලසේකර දිව ආවේය. පිතිකරු මැකලම්. සුපුරුදු පරිදි කුලසේකර පළමු පන්දුව පිට ඉන්නෙන් පිටත පතිතකළ අතර, මැකලම් පන්දුව නිදැල්ලේ හැරීය. කෙසේ හෝ පළමු පන්දුවාරයේ ලකුණු 2 ක් ලබාගැනීමට පිතිකරුවන් සමත්විය. දෙවන පන්දුවාරය යැවීම තුෂාරට පැවරිනි. පළමු පන්දුවට ලකුණක් ලබාගැනීමට රයිඩර් හට නොහැකි වුවද, තෙවන පන්දුවට මුහුණදුන්නේ මැකලම්ය. තුෂාරගේ කරුමයට සිව්වන පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරු සලකුණු කරනලදි. පස්වන පන්දුව යැවූපසු විනිසුරු තිරසට අත වැනුවේය.මෙලෙස තුෂාර හා කුලසේකර තවත් පන්දුවාර දෙකක් යවා, නැවතත් කුලසේකර තම තෙවන පන්දුවාරයේ පස්වන පන්දුව යැවීමට සූදානම් විය. එවිට කිවියන් පන්දුවාර හතරකුත් පන්දු හතරක් තුළ, රදවාගෙන තිබූ ලකුණු වේගය වූයේ 5.35 කි. කුලසේකර පන්දුව යැවීය. රයිඩර් මිඩ්විකට් කළාපයට පන්දුව යොමුකර ලකුණක් සදහා දිවගියේය. එක්වරම ඔහුගේ වම් කකුළෙන් වේදනාවක් දැනුණි. ඔහු පිටියේ දිගාවිය. මොහොතකින් භෞතචිකිත්සක සුරූපිණිය පිටියට පැමිණියේය. ඇයගෙන් පිටිය මැද ප්‍රතිකාර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඇය විවේකාගාරය දෙසට සං‍‍ඥා කරමින් දුවන්නෙකු අවශ්‍යය බව දැන්වීය.



රයිඩර් වෙනුවෙන් දිවීම සදහා ඩැරල් ටෆී පිටිය පැමිණියේය. රයිඩර්හට තිබුණේ තමා ගැනම තරහකි. මන්ද, ඔවුන් පෙර දකුණු අප්‍රිකාණුවන් හමුවේ ලැබූ පරාජය නිසා මෙම තරගයේ ජය අනිවාර්යය වීමයි. නමුත් සිදුවී ඇත්තේ තමන්ට ඉක්මනින් පිටියෙන් ඉවත්වීමට සිදුවීමයි. මෙම තරගයට ඔහු පැමිණියේ දහසකුත් බලාපොරොත්තු තබාගෙනයි. මන්ද, මෙයට පෙර ඔහු ක්‍රීඩා කළ ඉනිම් 3 හිම ඔහුගේ ලකුණු සටහන් වූයේ 0,0,8 ලෙසය. එබැවින් ඔහු පැමිණියේ කෙසේ හෝ නැවත ලකුණු අතරට පැමිණීමේ අටියෙනි. එහෙත්, සිදුවී ඇත්තේ ලකුණු 7 ක් ලබා තිබියදී ආබාධයකට ගොදුරු වීමයි. ඔහුට තම තරබාරු ශරීරය සමගම කෝපයක් හටගත්තේය. "දැන් කරන්න දෙයක් නෑ. මට අයේ දවස් ගානකට සෙල්ලම් කරන්න වෙන්නෙ නෑ. වෙනදෙයක් වුනාවේ. එන ඕන බෝලයකට මම බැට් එක වනනවා." ඔහු දැඩිව සිතා ගත්තේය. එතැන් පටන් තරගයේ ස්වරූපය වෙනස්වන්නට වැඩිවේලා ගතවූයේ නැත. තුෂාර යැවූ මීළග පන්දුවාරයේදී කවර් පොයින්ට් කළාපය හරහාත් පිත්තේ දාරයක වැදී ත'ර්ඩ් මෑන් කළාපය හරහාත් හතරේ පහර දෙකක් එල්ල කිරීමට ඔහු සමත් විය. ඉන්පසු පන්දුවාරයේදී හයේ පහරක්ද සමග ලකුණු 14 ක් ඔහු රැස්කිරීය. ඔහුට වැඩිවේලා පිටියේ රැදී සිටීමට කිසිදු අවශ්‍යතාවක් නොවීය. ඔහු තම ඉච්ඡාභංගත්වය මෙම පහර දීමෙන් තුණීකර ගැනීමට උත්සාහ කළේය. ඔහු කල්පනාකළේ පන්දුවාර කිහිපයක් තුළ ඔහු දැවීයන බවත්, ඊටපෙර කණ්ඩායමට හැකිතාක් ලකුණු රැස්කරදීමත් ගැනය.

නමුත්, ඔහුගේ වාසනාවට හෝ අවාසනාවට, නැත්නම් ප්‍රතිවාදීන්ගේ අවාසනාවට, ඔහු පිත්ත වනණ සෑම විටම පාහේ පන්දුව පිත්තේ කොහේ හෝ කොනක වැදී, හතරේ සීමාව පසු කළේය. නැතහොත් පන්දු රකින්නන් නොමැති ස්ථානවල පතිත විය. එසේත් නැත්නම් දුන් උඩපන්දුව අතහැරියේය. "පාදය වේදනා දුන්නද, මා නොදැවේනම්, කුමක් කරම් ?" ඔහු තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තාකරන ලදි. ඒ පන්දු 28 කිනි. නමුත් තවමත් ගෙවී ඇත්තේ පන්දුවාර 10 කි. කෙසේ හෝ, ඔහුගේ මෙම ප්‍රහාරය දරාගත නොහී, ප්‍රතිවාදී නායකයා පවර් ප්ලේ එක ගැනීම කල්දමන ලදි.එබැවින් ඔහුට එක, දෙක බැගින් ලකුණු ලබා ගැනීමට සිදුවිය. එනම්, ටෆීට වැඩ බහුලවිය. නමුත්, ලැබෙන අවස්ථාවලින් ඵළ නෙළීමට ඔහු පසුබට නොවීය. එවන් අවස්ථාවල පන්දුව නතරවූයේ හතරේ සීමාවෙන් එපිටය. 20 වන පන්දුවාරයේ අවසාන පන්දුව එළ්ඹිණි. ඒ වන විටත් ඔහු මෙම පන්දුවාරයට හතරේ පහරක් එල්ලකර තිබුණි. කුලසේකර දිවඒ. රයිඩර් සූදානම්. රයිඩර් සුපුරුදු ලෙසම පිත්ත හැකිතාක් වේගයෙන් වැනුවේය. නමුත් මෙවර, පිත්තේ දාරයක වැදුණු පන්දුව සංගක්කාර අතට පත්විය. ඔව්, ඔහු දැවීගියා. නමුත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරයි. ඔහුට තවමත් තමා පිළිබදව ඇත්තේ කෝපයකි. සියලු ප්‍රේක්ෂකයන් අසුන් වලින් නැගිට ඔහුට අත්පොලසන් දෙන විට, ඔහු හතරේ සීමාව ආසන්නයේ තිබූ පුටුවකට පිත්තෙන් දමා ගැසීය. ඔහුට නැවත් මෙම තරගාවලියට ක්‍රීඩාකිරීමට වන්නේ නෑ. නමුත් ඔහුගේ එක් බලාපොරොත්තුවක් ඉටුවිය. ඒ ඔහු නැවත් ලකුණු අතරට පැමිණීමයි. නමුත් ඔහුගේ අබාධය සුවවන්නේ කවදාද ?

* සත්‍යය සිදුවීමක් ඇසුරිනි



Read More