Tuesday, August 2, 2011

නන්නාඳුනන දඟ පන්දු යවන්නාගේ ආගමනය

එළඹෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා, ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි. මේ වනවිට බොහෝ ක්‍රීඩා ලෝලීන්හට මතුව ඇති ගැටලුවක්වනුයේ ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇති පිට දඟ පන්දුයවන නේතන් ලියොන් ගේ තේරීමයි. තවමත් 23 හැවිරිදි ඔහු, ක්‍රීඩාකර ඇත්තේ පළමු පෙළ තරඟ 4 ක් පමණයි.

මොහු පිළිබඳව දැන ගැනීම සඳහා අප ලියොන්ගේ පුහුණුකරුවන "ඩැරන් බැරී" සම්බන්ධකර ගන්නා ලදි.

ක්‍රික්ටර්ෆ් වාර්තාකරු : වාර්තාවන ආකාරයට ලියොන්ගේ නිසඟ හැකියාවන් හඳුනා ගෙන ඔහුව "දකුණු ඕස්ට්‍රේලියානු" ප්‍රාන්ත කණ්ඩායම වෙත ගෙනවිත් ඇත්තේ ඔබයි. ඒ මතකය අවදිකළොත්.

ඩැරන් : ඔව්. මීට වසරකට පමණ පෙර ඔහු අපේ ක්‍රීඩාංගනයේ (ඇඩිලේඩ්) තණතීරු සැකසීම් අංශයට සම්බන්ධවුනා. එක් දිනක් ඔහු ක්‍රීඩාංගනයේ සැකසීම් කටයුතු වල යෙදෙමින් සිටියදී, මම ඔහුගෙන් විශිෂ්ට දඟ පන්දු යවන්නෙකුගේ ලක්ෂණ දුටුවා. ඔහු පිටියේ යාර 15 සීමාව ලකුණු කිරීමට යොදන පියනක්, විසි කිරීමේදීයි මා එය නිරීක්ෂණය කළේ.

ක්‍රි. වා. : බොහොම සිත්ගන්නා කතාවක් වගේ. ඔබ මොකක්ද දුටුව විශේෂත්වය.

ඩැරන් : ඔහු එය විසි කරපු ඉරියව්වෙන් මා, අපට සිටි විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වන "බ්‍රැඩ් හොග්" හා සමානකමක් දුටුවා.

ක්‍රි. වා. : එය සිදුවිය නොහැක්කක්. බ්‍රැඩ් හොග්, වමතින් මැනික් කටුව උපයෝගී කරගෙන පන්දු යවන්නේ. නමුත් ලියොන්, දකුණතින් ඇඟිලි උපයෝගී කරගෙන පන්දු යවන ක්‍රීඩකයෙක්නෙ ?

ඩැරන් : ඔබට එක් කරුණක් අමතක වුනා. හොග් මැණික් කටුවට අමතරව පන්දු යැවීම සඳහා "දිව" ද උපයෝගී කරගන්නවා.
ක්‍රි. වා. : එතකොට ඔබ කියන්නේ ලියොන් ද, පන්දු යැවීම සඳහා දිව උපයෝගී කරගන්නා බවයි ?

ඩැරන් : අනිවාර්යෙන්ම. ඔහු අනාගතයේ විශිෂ්ට පන්දු යවන්නෙකු වනවා නියතයි.

මීළඟට අපි සම්බන්ධ කරගත්තේ, නේතන් ලියොන් ව ;

ක්‍රි. වා. : ඩැරන් අපිට විස්තර කළා, ඔබගේ සැඟවුනු හැකියාවන් ඔහු හඳුනාගත් ආකාරය. මොනවද ඔහු මුලින්ම ඔබගෙන් ඇසුවේ ?

ලියොන් : ඒ පසුගිය වසරේදී ඇඩිලේඩ් ක්‍රීඩාංගයේ සේවයට මා බැඳුන අලුත. දිනක් මා ක්‍රීඩාංගනයේ සිටියදී ඩැරන් මා වෙත පැමිණ ඇසුවා, " පුතා, ඔබ Spinner කෙනෙක් වෙන්න කැමතිද ? " යනුවෙන්. මා ඔහුට පැවසුවා මා "Spinners" දැනටමත් භාවිතා කරන බවත්. ශේන් වෝර්න් මාගේ ප්‍රියතම පන්දු යවන්නා බවත්. ඇත්තටම "Spinners" අනෙක් වර්ගවලට වඩා ආකර්ශනීයයි.

ලියොන් තම මතකයන් එසේ අවදි කරයි.

අනතුරුව අප සම්බන්ධ කරගත්තේ ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ සභාපති "ඇන්ඩෲ හිල්ඩ්‍රිච්".

ක්‍රි. වා. : හිල්ඩ්‍රිච් මහත්මයා, ඔබගේ නවතම දඟ පන්දු තාරකාව ලියොන් ගැන ඔබේ අදහස කුමක්ද ?

හිල්ඩ්‍රිච් : ඔව්. අපි ඔහුගෙන් සුවිශේෂී පන්දු යවන්නෙකුගේ ලක්ෂණ දුටුවා. ඇත්ත වශයෙන්ම මීට පෙර එවැනි ලක්ෂණයක් අප දුටුවේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ බ්‍රැඩ් හොග් ගෙන්. විශේෂයෙන්ම එක්දින තරඟවලට අපට සිටි හොඳම දඟ පන්දුයවන්නෙක් තමයි හොග්. අවාසනාවකට වෝන් හා මැක්ගිල් නිසා ඔහුට ටෙස්ට් තරඟ ක්‍රීඩාකිරීමේ අවස්තාව බොහෝවිට මඟ හැරුනා. ඒ වගේම, හොග් තරම්ම නොවුනත් ෂේන් වෝන් ද ඇතැම් වෙලාවන්හිදී පන්දු යැවීම සඳහා දිව උපයෝගී කරගත්තා.

ක්‍රි. වා. : එතකොට ඔබත් ලියොන්ගෙන් එවැනි දස්කම් බලාපොරොත්තු වෙනවා ?

හිල්ඩ්‍රිච් : අනිවාර්යෙන්ම. ඔහුට තම දිව පන්දු යැවීමට යොඳා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබෙනවා. මෙතෙක් ඔහු සහභාගී වූ පළමු පෙළ තරඟ 4 තුළදී පන්දුවාර 173 කුත් එක් පන්දුවක් යවා ඇති අතර, එහිදී ඔහු පන්දුවාර 167. 1 ක් යැවීම සඳහා දිව උපයෝගීකරගෙන තිබෙනවා. එය 96.5% ක ප්‍රතිශතයක්.

ක්‍රි. වා. : ඉතුරු පන්දුවාර 6 ?

හිල්ඩ්‍රිච් : අහ්... එක් දිනයකදී, තේ පානයෙන් අනතුරුව ඔහුට තම දිව උපයෝගී කරගැනීමේ බාධාවක් මතුවුනා.

මෙලෙස ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව හා ලියොන්ගේ පුණුකරු ඇතුළු සුවහසක් ක්‍රීඩා ලෝලීන් ලියොන් ගැන තබා ඇති බලාපොරොත්තු අතිමහත්ය.

සැ. යු. : මෙය හුදු ප්‍රබන්ධයක් පමණි

ප.ලි. : මෙය මා විසින් cricturf.com සඳහා රචිත ලිපියකි

2 ක් අදහස් දක්වලා:

මහජන මුත්තා said... [Reply]

නියම වෑඩක් කියල හිතෙනව , දිගටම කරගෙන යන්න සුබ පතනවා.

August 3, 2011 at 10:52 PM
SIDATH said... [Reply]

@මහජන මුත්තා

බොහොම ස්තූතියි මුත්තේ :)

August 5, 2011 at 11:59 PM

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න