Saturday, September 12, 2009

Compaq Cup ( IND Vs NZ )

නවසීලන්ත කණ්ඩායම කාසියෙ වාසිය ජයගත්තත් එය තම වාසියට හරවා ගැනීම ඔවුන් අපොහොසත් වුනා. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා/රාත්‍රී තරග වලදී පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායමට වාසිදායක තත්වයක් තිබෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. නමුත් මේ තරගයේදී එය වෙනස් වුනා. මම හිතන්නෙ ක්‍රීඩාංගනයේ මේ තත්වය ගැන අවධානය යොමුකළ පාලන අධිකාරිය , මෙම තරගා වලියට මන්දගාමී තණතීරු නිර්මාණය කිරීම මෙයට හේතුවයි. එවිට පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායමටත් , පන්දුවට පහරදීම ලෙහෙසි වෙන්නෙ නෑ. එවිට පළමුව පන්දුවට පහරදෙන විට ඇති තත්වය හා දෙවනුව පන්දුවට පහර දෙනවිට ඇති තත්වය අතර පරතරය අඩුවීමක් සිදුවෙනව. එබැවින්, පළමුව පන්දුවට පහරදී තරගය ජය ගැනීමට නම්, හොද පිතිකරුවන් කණ්ඩායම තුළ සිටීම අනිවාර්යයි. මෙහිදී හොද පිතිකරුවන් යනු තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරුවන් වීමයි. මේ පිළිබදව වැඩිදුරටත් අපි පසුව කථා කරමු. මෙම තණතීරු පිතිකරුවන්ට යෝග්‍ය ලෙස සකසනු ලැබුවේනම්, තත්වය දරුණු විය හැකිව තිබින. එවිට, පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායම, පිතිකරුවන්ට පාරාදීසියක් වූ තණතීරුවක පහරදෙන නමුත් දෙවනුව පන්දුවට කණ්ඩායම පහරදෙන්නේ මදක් සීම් වන, මදක් ස්විං වන, එන්න එන්නම මන්දගාමී වන තණතීරුවකයි. අහෝ ! මේ කුමන සාධාරණයක්ද ? පසුගිය ඉන්දියානු තරගාවලි 2 හා පාකිස්ථානු තරගාවලිය පැවැත්වූයේ මෙවැනි තණතීරු වලයි. ප්‍රතිඵලය පිළිබදව ඉතිහාසය සාක්ෂි දරයි.


කොහොම වුනත්, මේ තරගයේදීත් නවසීලන්ත පිතිකරුවන් අතර සම්බන්ධතා ගොඩනැගුනේ නෑ. ඉහත දැක්වූ ආකාරයේ තාක්ෂණයෙන් පරිපූර්ණ පිතිකරුවෙක් නවසීලන්ත කණ්ඩායමේ දක්නට ලැබෙනවාද කියන එක ගැටලුවක්. ඔවුන් බොහෝ දෙනෙක් පොල් අඩි පිතිකරුවන් ( සිංහලෙන් කියනවානම් Pinch Hitters). T20 සදහා හෝ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු වලට ඔවුන් සුදුසු වුවත්, පිතිකරුවන්ගේ ගුණාත්මක බව උරගා බලන මෙවැනි තණතීරු වලදී අසාර්ථකවීම පුදුමයක් නොවේ.

ඉන්දියානු ඉනිමේදී තෙන්දුල්කාර් ඔහුගේ සුවිශේෂී බව පෙන්නුම් කළා. 2009
T20 ලෝක කුසලානයේදී, ඉන්දියාව පළමු වටයෙන්ම විසිවීමට ප්‍රධාන හේතුවක් වූයේ කණ්ඩායමේ අත්දැකීම් මද බවයි. මෙහෙම කියනකොට ඔබ කියයි ඔයිටත් වඩා අත්දැකීම් අඩු කණ්ඩායමක් නේද 2007 ශූරතාවය දිනුවේ කියලා. ඔව් ඒක හරි. නමුත් මෙවර තරගාවලියේදී පිතිකරුවන්ටද යම් අභියෝගයක් එල්ලවන ආකාරයේ මන්දගාමී තණතීරු නිර්මාණය වුනා. නමුත් මෙම අභියෝග ජය ගත හැකි පිතිකරුවෙකුට සිටියේ දෝනි පමණයි. ඉන්දියාව මෙයින් පාඩමක් ඉගෙන ගත්තා. ඒ අනුව එක්දින කණ්ඩායමේ මෙතෙක් නොසිටි රාහුල් ඩ්‍රාවිඩ් නැවත කණ්ඩායමට නම් කළා.

හෙට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තරගයයි. මෙය ඉන්දියාවට ශ්‍රේණිගත කිරීම් වල පළමු තැන රැදීසිටීමට ත්, ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම් වල ඉහළට යාමටත් වැදගත් වේ. ඒ හැරෙන්නට තරගාවලිය දෙස බැලීමේදී මෙය වැඩකට ඇති තරගයක් නොවේ (Dead Rubber).

ලකුණු පුවරුව

0 ක් අදහස් දක්වලා:

Post a Comment

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්. ආපු එකේ මොනවහරි කියලම යන්න.

සිංහලෙන් ලියන්න